(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
ඔන්ලයින් හරහා 3 ශ්‍රේණියේ දරුවන්ට බර මැනීම පිළිබඳව ගණිත පාඩමක් කරමින් සිටියදී බර මනින ඒකකය හඳුන්වා දුන් ගණිත ගුරුවරයාට එම කෙටි යෙදුමේ තවත් අපූරු අර්ථයක් ගැන ගුරුවරයාට කියා දුන් සිසුවකු පිළිබඳ වයඹ පළාතෙන් වාර්තා වූ රසවත් පුවතකි මේ.
එය ඔන්ලයින් හරහා 3 ශ්‍රේණියේ දරුවන් සඳහා නොමිලේ ඉගැන්වූ ගණිත පාඩමකි. එයට සූම් තාක්ෂණය හරහා දරුවන් 150ක පමණ පිරිසක් සහභාගි වී සිටි අතර පාඩම මෙහෙයවූ ගුරුවරයා එදින දරුවන්ට ඉගැන්වූයේ බර මැනීම පිළිබඳ පාඩමකි.
“දරුවනේ, අද මං ඔයාලට කියා දෙන්න යන්නේ බර මැනීම පිළිබඳවයි. අපි බර මැනීම යොදා ගන්න ඒකකය කිලෝ ග්‍රෑම්. අපි කේ.ජී. කියලා භාවිත කරනවා. අපි වෙළෙඳසලට ගිහිල්ලා සීනි කිලෝ ග්‍රෑම් එකක්, අල කිලෝ ග්‍රෑම් දෙකක් ආදී වශයෙන් තමා ඉල්ලන්නේ. අපි ප්‍රමාණය ලියද්දී අංකය ලියලා කේ.ජී. කියලා (KG) යොදනවා.”
පාඩමට සම්බන්ධ වී සිටි 3 ශ්‍රේණියේ සිසුවෙක් ගුරුවරයාට මෙසේ පැවැසුවේය.
“අනේ සර්, මම නම් ඔය කේ.ජී. කියන අකුරු දෙකටත් කැමැති නෑ. අපේ ලොකු අයියාට මාස 3ක් හිරේ ඉන්න වුණේ ඔය කේ.ජී. හින්දා. ඒවා පාවිච්චි කළා, ප්‍රවාහනය කළා කියලා. කේ.ජී. කියන්නේ හරිම නරක දෙයක්.”
ගුරුවරයාට එක් වරම දරුවා කියන දෙය වැටහුණේ නැත.
“අනේ පුතේ ඔය කියන දේ මට හරියට තේරෙන්නේ නෑ. කැඩි කැඩී ඇහෙන්නේ. ඔයා මොකක්ද ඔය කියන්නේ.”
“අනේ සර්, ඕක දන්නේ නැද්ද? කේ.ජී. කියන්නේ ‘කේරළ ගංජා’ කියන එක. ඒවා පාවිච්චි කරලා තමා අපේ අයියා හිරේට ගියේ.
කේරළ ගංජා කියන දේට යෙදෙන කෙටි යෙදුම තමා කේ.ජී. කියන එක.”
ගුරුවරයාට කාරණය වැටහුණේ එවිටය.