හබරාදුව – බී.එච්. රම්‍යා
වෙළෙඳසලකින් බනිස් ගෙඩියක් සොරාගත් කුඩා දරුවකුට වෙළෙඳසල් හිමියා බනිස් ගෙඩි දහයක් පාන් ගෙඩි පහක් ලබාදී මීට පසු කිසිම දවසක සොරකම් කිරීම නොකරන ලෙසට දැඩි ලෙස අවවාද කර හිස අතගා පිටත් කර යැවීමේ සිද්ධියක් හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වේ.
හබරාදුව ප්‍රදේශයේ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන අලෙවිකරන වෙළෙඳසලකට පැමිණි අවුරුදු දහයක් පමණ වයසැති දරුවෙක් මුදල් දී අයිස් පැකට්ටුවක් මිලදී ගත්තේය.
අයිස් පැකට්ටුවකමින් වෙළෙඳසලෙන් පිටවෙමින් සිටි දරුවා එකවරම එහි මාළු පාන්, බනිස්, කිඹුලා බනිස් පෙට්ටියක් තිබෙනු දැක ඉන් බනිස් ගෙඩියක් වටපිට බලා කිසිවකු නැති තැන හොර රහසේම ඉනේ ගසා ගත්තේය. එහෙත් වෙළෙඳසල්හිමියා එහි වූ සී.සී.ටී.වී. කැමරාව සම්බන්ධ රූපවාහිනී තිරයෙන් කොලු ගැටයා කළ සොරකම හොඳින් දැක්කේය. වහා මිදුලට ආ වෙළෙඳසල්හිමියා කොලු ගැටයා වෙළෙඳසල තුළට කැඳවා ගෙන ගියේ අතින් අල්ලාගෙනය.
කොලු ගැටයා බියෙන් වෙව්ලන්නට විය.
මෙහිදී කොලු ගැටයා ඇමතූ වෙළඳසල් හිමියා ‘මම ඔයා කරපු ඔක්කොම මේ ටීවී එකෙන් බලාගෙන හිටියා. ඇයි දරුවෝ එහෙම හොරකම් කරන්නේ? ඉල්ලුවානම් දෙනවනෙ. මීට පස්සෙ කාගේවත් දෙයක් හොරකම් කරන්න හිතන්න එපා’ යැයි පැවසුවේ අවවාදාත්මක ස්වරයෙනි.
දරුවා හිස සලමින් වෙළෙඳසල්හිමියාගේ අවවාදය පිළිගත්තේය. කරුණාවන්ත වෙළෙඳසල්හිමියා අවවාදය දීමෙන් නැවතුණේ නැත. ඔහුට බනිස් ගෙඩි දහයක් පාන් ගෙඩි පහක් ලබාදී ‘මේවා ගෙදර ගෙනිහිල්ලා ඔක්කොම එක්ක කන්න’ යැයි පැවැසුවේ ඔහුගේ හිස අතගාමිනි.
බනිස් ගෙඩි දහය පාන් ගෙඩි පහ අතට ගත් දරුවා සතුටු සිතින් වෙළෙඳසලෙන් පිටව ගියේ වෙළඳසල්හිමියා දෙස ගෞරවපූර්වක බැල්මක්ද හෙළන ගමන්මය. වෙළෙඳසල්හිමියා එතනින් නැවතුණේ නැත. ඔහු එම දරුවාගේ පවුලේ උදවිය සොයාගෙන ඔවුන්ටද විවිධ ආකාරයට උදව් කළේය.