බදුවලට පඩි කැපුණ ලොක්කා පොඩ්ඩන්ගේ ඇඟට ගොඩවී මට්ටුවෙලා


හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන

රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ප්‍රතිපත්තිය නිසා සිය වැටුපෙන් විශාල මුදලක් බදු ලෙස අඩු කිරීම සම්බන්ධයෙන් උරණ වී කාර්යාල සේවක රැස්වීමේදී නිලධාරීන්ට බැණවැදුණු ආයතන ප්‍රධානියකු පිළිබඳ දකුණු පළාතෙන් වාර්තාවේ.

මාණ්ඩලික නිලධාරියකු ලෙස රාජ්‍ය  සේවයට එක්වී විශ්‍රාම යාමට ආසන්නව සිටින මොහු අවිවාහකයකු බව පැවසේ.

විවිධ ආයතනවල ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති ඔහු නොයෙක්  ක්ෂේත්‍ර පිළිබඳව හසල දැනුමක් ඇත්තකු බවට ප්‍රසිද්ධියක් දැරුවද නිලධාරීහු හා ජනතාව ඔහු කෙරෙහි එතරම් ප්‍රියතාවක් නොදක්වති.

නිල  නිවෙසක්, නිලරථයක් හා නිලබලයෙන් ලැබෙන සෑම වරප්‍රසාදයක්ම  බුක්ති විඳින ඔහු ක්‍රමවත්ව ඇඳුම් පැළඳුම් වලින් සැරසීමට දැඩි කැමැත්තක් දක්වන්නෙකි.

පෙබරවාරි වැටුප පිළිබඳව විස්තර අඩංගු  පත්‍රිකාව ඔහු අතට පත්වූයේ ගිණුම් අංශයේ නිලධාරියකු මාර්ගයෙනි. වැටුප් පත්‍රිකාවේ සඳහන් දත්ත පරීක්ෂා කිරීමේදී බදු ලෙස වැටුපෙන් අඩුකර ඇති ප්‍රමාණය දුටුවිට ඔහුට  උන්හිටි තැන් අමතක විය. පළමු දෝස්මුරය ලැබුණේ ලිපි ගොනුවක් රැගෙන පැමිණි කළමනාකාර සහකාර නිලධාරිනියකටය. එදින ප්‍රධානියාගේ කාර්යාලයට ගිය සෑම සේවකයකුටම කුමන හෝ කරුණකට බැණුම් අහන්නට සිදු විය. සවස් වරුවේදී කිසිදු නිලධාරියකු ප්‍රධානියාගේ කාර්යාලයට නොගිය අතර ප්‍රධානියා සේවක හමු රැස්වීමටද පැමිණියේය.

විවිධ ක්ෂේත්‍රවල ප්‍රගතිය විමසමින් නිලධාරීන් අපහසුතා පත්වන අයුරින් නොයෙක් අන්දමේ ප්‍රශ්න නගමින් සියලු දෙනාට දොස් පැවරීමද සිදු කළේය. හරි හමන් හේතු කාරණා නොමැතිව දොස් අසන්නට වූයෙන් ඉවසීමේ සීමාවද ඉක්මවා ගියේය. ජ්‍යෙෂ්ඨ නිලධාරියකු  නැගිට විනාඩි කීපයක් ශබ්ද නගා ප්‍රධානියා ආමන්ත්‍රණය කිරීමත් සමග ප්‍රධානියාගේ දොස් පැවරීම නිමා වූ බව සැලවේ.

සේවක් රැස්වීම පිළිබඳ කතාව සෙසු කාර්යාල වෙත පැතිරයාමට වැඩි කාලයක් ගත නොවූ අතර එම කාර්යාල සිට හිතවත් ප්‍රධානීන් වැටුපෙන් කීයක් කපලාද යනුවෙන් ප්‍රශ්න කිරීම නිසා කේන්තිය ඉහවහා ගිය ප්‍රධානියා එදින රියැදුරුද නොමැතිව වාහනයෙන් තනිවම නිවෙසට ගිය බවද පැවසේ.