බඬේ අමාරුවට බේත් ගන්න යද්දී බබෙක් හම්බවෙලා


කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණියක පෙරේදා (9) සවස බඬේ අමාරුවක් හැදී රෝහලට ගෙන යන අතර වෑන් රථය තුළදී දරුවෙකු ප‍්‍රසූත කර ඇතැයි කළුබෝවිල රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය. 

දරුවා ප‍්‍රසූතියේදී මියගොස් ඇති අතර තරුණියගේ දිවි ගලවා ගැනීමට හැකිවී තිබේ යැයි රෝහල් ආරංචි මාර්ග කියයි.  විසි දෙහැවිරිදි තරුණියක්වන ඇය උසස් පෙළ සමත්ව ඇතත් රැුකියාවක් නොමැතිකමින් කොළඹට පැමිණ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇත. ඇය කොළඹදී තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති අතර තමන්ට දරුවෙකු පිළිසිඳගෙන ඇති බව තරුණිය පසුගිය සැප්තැම්බර් මාසයේදී දැන ගෙන ඇත. එසේම ඇය පෙම්වතාට හැර වෙනත් කිසිවෙකුට ඒ බව පවසා නැත.  සිද්ධිය වූ දිනයේ සවස දෙකට පමණ මෙම තරුණිය බඬේ අමාරුවක් බව පවසමින් කෑ ගසද්දී කම්හලේ ප‍්‍රධානීන් ඇය වෑන් රථයක නංවා කළුබෝවිල රෝහලට පිටත් කර තිබේ. ඒ යන අතර මෙම තරුණිය දරුවෙකු ප‍්‍රසූත කර තිබේ යැයි රෝහල් පොලිසිය කියයි.  කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක පාරින්ද කොටුගොඩ මහතා විසින් මරණ පරීක්‍ෂණය සිදු කරනු ලබන අතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.