බඩු අඩුවෙන් ගත්තාට මුදලාලිට යකා නැගලා



දකුණු පළාතේ උප නගරයක පිහිටි එළවළු වෙළෙඳ සලකි. එහි හිමිකරු ඉතා සාධාරණව වෙළෙඳාම් කරන කාගේත් සිත් දිනාගත් තැනැත්තෙකි.


ඔහුගෙන් හැමදාමත් එළවළු මිලට ගන්නා පාරිභෝගිකයකු පැමිණ ඒවායේ මිල ගණන් විමසීය. වෙනදා වැඩිපුරම ගන්නා මාළු මිරිස්, කැරට්, බෝංචි, බීට්වල මිල ඉතා ඉහළය. මුදලාලි මිල ගණන් කියන විට දෙනෙත් ලොකු කරමින් ඒ දෙස බැලූ ඔහු අඩුම මිල තිබූ රාබු පන්සියයක් ගෙන මුදලාලිට මුදල් ගෙවූ විට මුදලාලිගේ කටින් පිටවූයේ අසභ්‍ය වචන සහිත සැර පරුෂ කියමන් රැසකි. පාරිභෝගිකයාට තරු පෙනුණි.


“මං හැමදාමත් මුදලාලිගෙන් එළවළු ගන්නෙ. ඇයි අද මේ විදියට කතා කරන්නේ” ඔහු කීවේ ද තරමක් සැරෙනි.


“අනේ රත්තරං මහත්තයෝ, මං ඔහේට නෙමෙයි කිව්වෙ. මං කිව්වෙ රටේ පාලක උන්නැහේලට” කී මුදලාලි ඔහුගේ මල්ලට නොමිලයේම දෙහි ගෙඩියක් ද දැම්මේ වැරදි වටහා ගැනීම වැළැක්වීමටලු.

(තිහගොඩ - උපසේන ලියනගම)