තලාතුඔය – ටී.එච්. සරත්
බඩ අඩු කර ගැනීම සඳහා අමුතු ආකාරයේ ව්‍යායාමයක් කියා දීමට තැත්කළ විශ්‍රාමික හමුදා සෙබළකු පිළිබඳව කතාවක් තලාතුඔයට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.
විසි වයස් වූ ඇය නගරයේ පලතුරු යුෂ අලෙවි සලක සේවිකාවකි. ඊට නුදුරින් එළවළු වෙළෙඳසලක් පවත්වාගෙන යන විශ්‍රාමිකයා, ඇය හා සුහද කතාබහේ ද යෙදෙයි.
ඉකුත් දිනෙක උදෑසන පලතුරු යුෂ අලෙවි සලට පැමිණි මොහු තමාට අත් සෝදා ගැනීමට අවශ්‍ය බව පවසා පිටුපස ඇති ජල කරාමය වෙත යාමට සූදානම් විය. එවිට තරුණිය පවසා ඇත්තේ ඉදිරිපස ඇති ජල කරාමයෙන් අත් සෝදාගන්නා ලෙසයි. එවිට ඔහු, කඩය ඉදිරිපිට ජලයෙන් තෙත්වන හෙයින් එයට නොකැමැත්ත පළකරන මුවාවෙන් පිටුපස වූ ජල කරාමය වෙත ගියේය.
මේ වනවිට තරුණිය සිටියේ පලතුරු යුෂ අලෙවිසල තුළ බිම පිරිසුදු කරමිනි. අත් සෝදාගත් විශ්‍රාමිකයා ඇය වෙත පැමිණ අමුතු බැල්මක් හෙළුවේය. “ඔයාගේ බඩ ටිකක් වැඩියි. ඒක අඩු කර ගන්න. නැතිනම් ඇඟේ ලස්සන නැතිවෙනවානේ. මම ව්‍යායාම් කියා දෙන්නම්, ඒක කරන්න.” යයි කීවේ ඇයගේ බඩ පෙදෙස අතගාමිනි.
අමුතු ආකාරයේ ව්‍යායාමයකට සූදානම් වන බව තේරුම් ගත් ඇය ඔහු පසෙකට තල්ලුකර දමා වෙළෙඳසලෙන් එළියට දිව ගියේ කෑගසමිනි.
ඒ ආසන්නයේ සිටි පොලිස් නිලධාරීන්ට සිද්ධිය පැවැසීමෙන් අනතුරුව විශ්‍රාමික අනංගයා අත්අඩංගුවට පත්වූයේ බළලකුට අසුවුණ මීයකු පරිද්දෙනි.