පොලී මුදලාලි දැකලා මැරතන් ශූරයා කැලේ පැනලා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගයට එක්වූ තරගකරුවකුට  අතරමගදී පොලි මුදලාලි හමුවීමෙන් පසු තරගය පසෙකලා වෙනත් මගක් ඔස්සේ නිවසට ගිය පුවතක් පසුගියදා වාර්තා විය.


නිතර පොලී මුදලාලිගෙන් ණයට ගන්නා පුද්ගලයෙකි. කලක සිට ණය ගෙවීම පැහැර හැර පොලී මුදලාලි මගහරින්නට ඔහු කටයුතු කළේ අතේ සතේ නැති නිසාය.


මේ අතර ගමේ අවුරුදු උත්සවයක් පැවැත්විණි. ගමහරහා දුවන තරගයට ඔහු ද එක් වූයේ එයින් මුල් තැන වත් ලබාගෙන තෑග්ගට හිමි කම් කියන අදහස ඇතිවය.


තරගයේ අඩක් පමණ අවසන්ය. කතා නායකයා පළමුවැන්නා ලෙස  ඉදිරියට ඇදී යයි. හදිසියේ එක් වරම ඉදිරියෙන් පොලී මුදලාලි පා ගමනින් එනු ඔහු දුටුවේය. තරඟය අමතක විය අසලම තිබූ හරස් පාරට හැරුණු ඔහු වෙනත් මගක් ඔස්සේ නිවෙස බලා ගියේ ය.
තරග සංවිධායකයන් වික්ෂිප්ත වූයේ ජයග්‍රහකයා ජය පෙනෙන මානයේ සිටිය දී වෙනත් මගක යාමත් සමගය.
පොලී මුදලාලිට හසු වේ යැයි බියෙන් ඔහු වෙනත් මගක් තෝරාගත් බව පසුව සංවිධායකයන්ට දැනගන්නට ලැබිණි.