වාහන තනි අතට දිවෙන මාර්ගයක දෙමටගොඩ දෙසට ගමන් ගන්නා ත්‍රීරෝද රථයකි. එයට පිටුපසින් පැමිණි තවත් ත්‍රීරෝද රථයකි. මුලින් පැමිණි ත්‍රීරෝද රථය නතර කළ විට පසුපසින් පැමිණි ත්‍රීරෝද රථය සංඥා එළි දල්වා රථය පසු කිරීමට සැරසුනි. එවිටම වේගයෙන් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථය පසුකර යෑමේදී එහි වැදී මෝටර් රථයේ දොර සීරිමකට ලක්විය.
වහාම මෝටර් රථය නැවැත් වූ රියැදුරා ඉන් බැස “බලනවකෝ තමුසෙගෙ වැඩෙන් අලුත්ම වාහනේ සීරුනානේ” යනුවෙන් ගෝරානාඩු කළේය. “මම මොනවා කරන්නද. මම සිග්නල් දාලා ඉස්සරහට යද්දී ඔයානේ ඕවර් ටේක් කරන්න ගිහින් හූර ගත්තේ” ත්‍රීරෝද රථ රියැදුරා පැවසීය. “මේක රජයේ වාහනයක්” මෝටර් රථ රියැදුරා කී විට “කාර් එකේ රාජ්‍ය ලාංඡනය නැහැනේ. අපි පොලිසි යමු” ත්‍රීරෝද රථ රියැදුරා පැහැදිලි කළේය.
“අපිට පොලිසි ගානේ යන්න පරක්කු වෙනවා අපි නඩුවකට උසාවි යන ගමන්” මෝටර් රථයේ පැමිණි අයෙක් පැවසීය. “මේකට රුපියල් තුන්දහක් වත් යනවා”. රියැදුරා පැවසූ විට “ඉතින් ඉන්ෂුවරන්ස් එකට කතා කළා නම් ඉවරයිනේ” ත්‍රීරෝද රථ රියැදුරා පවසා “මට රුපියල් පන්සීයක් නම් දෙන්න පුළුවන්, ඊට වැඩිය දෙන්න අමාරුයි” යැයි කීය. රුපියල් පන්සිය අතට ගත් මෝටර් රථයේ රියැදුරා වාහනේ සිටි තැනැත්තා සමග පිටත් විය.
ක්‍රිස්ටෝපර් සීපියන්.

