පොලිසියට කොළේ වහන්න අක්කා මල්ලිට ‘සර්’ කියලා


(කුලියාපිටිය - දිනේෂ් උපේන්ද්‍ර) 
නිරෝධායන නීතිරීතිවලට පටහැනි අයුරින් රහසිගතව උපකාරක පන්තියක් පවත්වන බවට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලද තොරතුරක් මත කුලියාපිටිය හපුගම්මන ප්‍රදේශයේ නිවසකට ඉකුත් දිනෙක ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු කණ්ඩායමට දැකගත හැකිවූයේ අස්කර දමා තිබූ ඩෙස්පුටු කිහිපයකි. 


මේ දිනවල තමන්ට ලැබෙන්නේ සත්‍ය තොරතුරු බවත් ඒ අනුව දුරබැහැර ගෙවා පැමිණි බවත් කොතෙකුත් පහදා දී සත්‍ය වශයෙන් උපකාරක පන්තියක් කළාදැයි දැන ගැනීමට උත්සාහ කළත් නිවෙස් හිමි කාන්තාව එය ප්‍රතික්ෂේප කළාය. 


පසුව නිවසේ වෙනත් අය සිටීද යන්න විමසූ විට තම මල්ලී ඇති බව පැවසීමෙන් අනතුරුව වෛද්‍ය කාර්යය මණ්ඩලය ඔහු බැහැරට කැඳවන ලෙසට දැන්වීය.


එහිදී  නිවෙස ඇතුලේ සිටින්නේ තම මල්ලී යැයි පැවසු එම කාන්තාව සර් යැයි අමතා කථා කිරීම ​හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුව ඇති දේ තේරුම් යන්නට වැඩි කාලයක් ගත නොවීය. 


එහිදී අක්කා මල්ලීට සර් යනුවෙන්  ඇමතීම මින් පෙර කවරදාකවත් නොඇසු බව පැවසූ වෛද්‍යවරු මේ දිනවල පවත්නා තත්ත්වය පිළිබඳව නැවතත් එම කාන්තාවට හා උපකාරක පන්ති කළායැයි කියන ගුරුවරයාට තරයේ අවවාද කළ අතර පවත්නා  වසංගත උවදුර සමනය කර ගැනීමට සහය වන ලෙසට ඉල්ලීමක්ද කළහ. 


එමෙන්ම එහි පැමිණි කුලියාපිටිය ​පොලිසියේ නිලධාරීන් ද මේ දිනවල ඔන්ලයින් ක්‍රමයට පාඩම් කළ හැකි අයුරු පහදා දුන්නේ එම නිවසේ එදින ගණිතය පාඩමට සහභාගි වූවායැයි කියන දරුවාද සමගින් කතාබස් කිරීමෙන් අනතුරුවය.