පොලිසිය කසිප්පුපොළට පනිද්දී පොල්කඩන්නා බත් මුට්ටිය කාලා
කසිප්පු පොළට පොලිසියෙන් පැන සිටියදී කසිප්පු බොන්නට එහි ආ පොල් කඩන්නකු ගෙදර ගෘහ මූලිකයා සේ කුස්සියට ගොස් බත් මුට්ටියෙන් බෙදාගෙන කා කිසිත් නොදන්නා සේ පිටව යාමේ සිද්ධියක් පිළිබදව මීරිගම ප්රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
ලත් තොරතුරුක් අනුව පල්ලෙවෙල පොලිස් මුරපොළේ නිලධාරි පිරිසක් වැටලීමක නිරතව සිටියහ. පොලිස් පිරිස කසිප්පු පොළ පවත්වාගෙන යන අයගේ නිවෙස හා අවට සෝදිසි කරමින් සිටියේ සඟවා ඇති කසිප්පු සොයා ගැනීම සදහාය. නිවැසි කත පොලිසියේ කටුයුත්ත දෙස අමනාපයෙන් යුතුව බලා සිටියදී තලත්තෑනි පුද්ගලයකු එහි පැමිණියේය.
”කෑම උයලා ඉවරද?” ඔහු කාන්තාවගෙන් විමසීය. කාන්තාව කිසිවක් නොකීවත් මේ පුද්ගලයා කෙළින්ම ගියේ කුස්සිය දෙසටය. පොලිස් පිරිසේ ප්රධානියා ඔහු ගැන සැක සිතා සෝදිසියෙන් සිටියදී කුස්සියට ගිය ඔහු කළේ බත් මාළුපිනි බෙදාගෙන දිවා ආහාරය ගැනීමය. කෑම කා ඔහු පිටව යද්දීවත් කාන්තාව කතා කළේ නැත. මේ පුද්ගලයා කාන්තාවගේ සැමියායැයි පොලිසිය අනුමාන කළේය. පොලිස් පිරිස නඩුබඩු කිසිවක් සොයා ගැනීමට නොහැකිව පිටව ගියේ වැටලීම අසාර්ථක වූ නිසාය.
පොලිසිය එද්දී සැමියා කසිප්පු තොගය සැඟවීමට ගොස් ඇති බවත් පොලිිසිය සිටියදී එම නිවෙසට ආවේ එහි නිතර එන යන ගනුදෙනුකරුවකු වන පොල් කඩන්නකු බවත් පොලිස් පිරිස දැකීමෙන් කරකියාගත හැකි දෙයක් නැතිවූ පොල් කඩන්නා ගෘහමූලිකයා සේ පෙනී සිටිමින් දිවා ආහාරය ගෙන යාම නිසා නිවැසි කත සිය සැමියා වෙනුවෙන් යළි ආහාර සැකසීමේ යෙදී ඇති බවත් පසුව පොලිසියට දැන ගන්නට ලැබිණි.

