කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත
නගර මධ්‍යයේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනිද්දී සිය පෙම්වතියත් සමග හිමිහිට හිමිහිට හොරෙන් හොරෙන් ජංගම දුරකතනයෙන් කතා කළ තරුණයකුට නොසිතූ අබැද්දියකට මුහුණදීමට සිදුවූ පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
නගර මධ්‍යයේ වෙළෙඳසලක් මේ තරුණයාට තිබේ. ඔහු එදා සිටියේ සිය වෙළෙදසල තුළය. ඒ එක්කම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීහු පිරිසක් යතුරු පැදියෙන් පැමිණි තරුණයන් දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට නගර මධ්‍යයේදී පියවර ගනිමින් සිටියහ. එතැන ඒ අවස්ථාවේදී එකම කලබැගෑනියකි. නගරවාසීහු ද එතැනට රොක්වීමට පටන් ගත්හ. මේ තරුණයා ද සිය වෙළෙඳසල ඉදිරිපිට මහා මාර්ගයට පැමිණියේ වෙන්නේ මොකදැයි සොයා බැලීමටය.
ඒ එක්කම ඔහුට දුරකතන ඇමතුමක් ආවේය. ඔහු එයට සම්බන්ධ විය. කොහේදෝ සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු මේ තරුණයාට තඩි බා ජංගම දුරකතනද ගෙන ඔහු කුදලාගෙන ජීප් රථයට නංවා ගත්තේය. තමාට කතා කළේ පෙම්වතියයැයි කොතෙක් ගතු කීවත් මේ නිලධාරියා කීවේ මේ දුරකතන ඇමතුම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ සැකකරුවන් හා සම්බන්ධ එකක් යැයි කියමින් පොලිස් ස්ථානයටද ගෙන ගියේය.
ඒ විතරක්ම නොව කවදාවත්ම චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට නොගිය මේ තරුණයාට පෙම්වතිය දුන් දුරකතන ඇමතුම නිසා පැය ගණනක් පොලිසියේ තපින්නට සිදුවිය.
පෙම්වතිය දුන් දුරකතන ඇමතුම පරීක්ෂා කර බලා ඔහු නිදහස් කරන විට ඔවුන්ගේ ද මව්පියන් ඇතුළු බොහෝ පිරිසක් පොලිසියට පැමිණ සිටියහ. නොකළ වරදකට සෙනග ඉදිරිපිට ගුටි කෑ මේ තරුණයා දැන් දිවි ගෙවන්නේ බොහොම කලකිරීමෙනි.