පොල්කඩන කෙක්කක් ඇන්ටනාවේ බැඳ ජංජාලයක්


(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ඇන්ටනා බඳින්නට පොල් කඩන කෙක්ක උපයෝගීකර ගැනීම නිසා බිරිය සැමියාගේ උදහසට පත්වූ පුවතක් කොළඹ මහනුවර මාර්ගයට සමීප ගම්මානයකින් පසුගියදා වාර්තා විය.

නිවසේ තිබූ රූපවාහිනිය සොරුගෙන ගොස් වසරකට අධික කාලයක් ගතවිය. රූපවාහිනියක් යළි මිලදී ගත යුතු බවට බිරිය නිතර ඇවිටිලි කළාය. බිරියගේ කරච්චලයෙන් බේරෙන්නට බැරිවූ සැමියා වාරික ගෙවීමේ ක්‍රමයට රූපවාහිනියක් මිලදී ගෙදර ගෙනාවේය.

රූපවාහිනිය සවිකළත් එහි රූප පැහැදිලි නොවීය. ඇන්ටෙනාවක් අවශ්‍ය බව බිරිය නිතර කිව්වත් සැමියා ඒ බව ගණනකට ගත්තේ නැත. සැමියා නිවසේ නැති අවස්ථාවල ඬේලි ණයක් ගත් බිරිය ඇන්ටනාවක් මිලදී ගෙනාවාය. තමන්ට හැකි අන්දමින් ඇන්ටනාව සවිකර ගන්නට ඇය සමත් වූවත් ඉහළට එසවීමට ක්‍රමයක් සොයා යද්දී ඇය ඇස ගැටුණේ පොල් කඩන කෙක්කය.

අසල්වැසියෙකුගේ සහාය ගත් ඇය පොල් කඩන කෙක්කෙන් ඇන්ටනාව බැන්දාය. එය එසවීමෙන් පසු රූප පැහැදිලිවිය.

රූපවාහිනිය ගැන බිරියගේ කරච්චලය නැතිව දින කිහිපයක් ගතවිය. දවල්ට උයන්න පොල් ඉවරයි. අනේ පොල් ගෙඩියක් කඩලා දෙන්න බිරිය සැමියාගෙන් ඉල්ලා සිටියාය.

සැමියා පොල් කඩන්න වත්තට ගියේය. සැම තැනකම සොයා බැලුවත් පොල් කඩන කෙක්ක නැත. බැරිම තැන පොල් කෙක්ක කෝ සැමියා බිරියගෙන් ඇසූවිට බිරියට තරු පෙණුනාය. අනේ ඒකෙන් මම ඇන්ටනාව බැන්දා ඇය කියද්දී රූපවාහිනියෙන් පොල් ඉල්ල ගනින් කී සැමියා නිවෙසින් පිටව ගියේ කේන්තියෙන් පුපුරමින්ය.