පොල් හොරාට දුම් විසිවෙන දඬුවමක් දීලා


රුවන්වැල්ල -විමලරත්න සමරක්කොඩි 


හොරෙන් පොල් කැඩීම සඳහා ගසකට නැග සිටි පුද්ගලයකු දුටු ඉඩම් හිමියා ඒ බවක් නොඅඟවා පොරවක් ගෙන ගස කැපීමට සූදානම් වෙද්දී මරණ බයට පත්වූ සොරා ගස උඩ සිටම සමාව ඉල්ලා ඉඩම් හිමියාට වැඳ වැටීමේ පුවතක් රුවන්වැල්ලට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබිණි. 
පොල් සොරකමේ ගිය  ඔහු තනිකඩයෙකි. මත්පැන් බීමට තදින්ම ඇබ්බැහි වී සිටි  ඔහු මුදල් සොයාගැනීම සඳහා පාළුවට ගිය ඉඩම්වල පොල් පුවක් කැඩීමට පෙළැඹී සිටියේය. 
මිනිසුන් නොගැවසෙන පාළු හරියක තිබූ පොල් ගසක යහමින් ගෙඩි හැදී තිබිණි. වටපිට බලා හීන් සීරුවේම ගසට නැග්ගත් ඒ බැව් කිසිවෙකු විසින් දැක ඉඩම් හිමියා දැනුවත් කළේ පොල් සොරාගේ කල් කිරියාව තමන්ට ද වදයක් වී තිබූ අයෙකි.
ඒ අනුව පොරවක්ද අතැතිව පැමිණි ඔහු ගස උඩ සිටි සොරා දුටු බව නොඅගවා ගස කැපීමට සූදානම් විය. පොරෝ පහර දෙක තුනක් වැදෙන විට සොරා මරණ බියට පත්විය. අතු අස්සේ සැඟවී සිටි ඔහු තමා බිමට බහින තුරු ගස නොකපන ලෙස ඉඩම් හිමියාගෙන් බැගෑපත්ව ඉල්ලු‍වේ වෙන කළ යුතු දෙයක් නොවූ බැවිනි.
එහිදී ක්ෂණිකව ගසෙන් බිමට බැසගත් සොරා තමාට කිසිවක් නොකරන ලෙසත් මින්පසු හොරෙන් පොල් නොකඩන බවත්  පැවැසූ ඔහු ඒ අනුව තමාට සමාව දෙන ලෙසත් ඉඩම් හිමියාගෙන් ඉල්ලු‍වේ වැද වැටෙමිනි.
ඉඩම් හිමියාද ඔහුට තරයේ බැණ වැදී මින් මතු ඉඩමට පැමිණියහොත් දැඩි දඬුවම් දෙන බව පවසා එළවා දැමුවේ තමන් දුන් දඩුවම ඔහුට මුළු ජීවිත කාලයටම පාඩමක් බව හොඳින්ම දන්නා බැවිනි.