(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගාල්ල දිසත්‍රික්කයේ කෙළවර ගම්මානයක සාත්තරකාරියක් වූවාය. ඇයගෙන් සාස්ත්‍ර ඇසිමට බොහෝ දෙනා පැමිණියහ. එසේ පැමිණි පිරිසෙන් වැඩි දෙනා ගමෙන් හා පිට පළාත්වලින් විය. බුලත් කොළයක් මත රුපියල් තුන්සිය දහයක් තබා ඇයගේ අතට දුන්පසු ඇය පරලවී සාස්ත්‍රය කියන්නේය. සාස්තරය කියාගෙන යනවිට ඇයගෙන් හරස් ප්‍රශ්න ඇසීම සම්පුර්ණයෙන්ම තහනම්ය. ඇය සාස්තරය අසන තැනැත්තාගේ කටට වචනදී එම
තැනැත්තාගෙන්ම පිළිතුරු ලබාගෙන ඒ ඔස්සේ සාස්තරය කියාගෙන ගියාය. මේ අතර දිනක් කටකාර අයෙක් සාස්තරයක් ඇසීමට පැමිණියේය.
ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරය වුයේ ලී මෝලක් පවත්වාගෙන යාමය. ඔහු බුලත් අතක් මත පඬුරු තබා දෑත් එක්කරගෙන දේව මෑණියන් ඉදිරියේ සිටගෙන සිටියේය. දේව මෑණියෝ ආරූඪවී සාස්ත්‍රය කියන්නට වූවාය. ඔහුගෙන්ම යමක් දැන ගැනීමට බැරිවු නිසා ඇය තරමක් කේන්ති ගත්තාය.
අවසානයේ ඇය මෙසේ කීවාය. “දරුවා තමන් ඇවිල්ල ඉන්නේ නැතිවු දෙයක් ගැන දැනගන්නයි. ”එහෙමයි මෑණියෝ එහෙමයි“ “දරුවා මේක තමන්ගේ නිවසට නිතර එන කෙනෙක් ඉණේ ගහගෙන සඟවාගෙන ගිහිල්ලා.“ ඔහුගේ කේන්තිය ඉහවහා ගියේය. “මගේ හොරකම් කරල තියෙන්නේ පොල් ලී දහයක්. පොල් ලී කොහොමද ඉණේ ගහගෙන යන්නේ. දෙනව මගේ සල්ලි” කියමින් ඔහු බුලත් අත පමණක් දෙවියන් ඉදිරියේ තබා ඒ මත තිබු රුපියල් තුන්සිය දහය ආපසු රැගෙන යතුරු පැදියේ නැගී ගියේ එහි සිටි අනෙක් අයටද දේව හාස්කම එපා කරවමිනි.

