පොල් පැහිලා දැයි බලන්න යැවූ පණිවුඩකරු පොල් ටික කඩාගෙන ගිහින්


(දූනගහ බටේපොල විජයසිරි)
වත්තේ පොල් කැඞීමට පොල් පැසී ඇති දැයි බලන්නට යැවූ පණිවුඩකරුවා පොල් කඩා විකිණීමේ පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.


දිවුලපිටියට නුදුරු ගමක ඉඩමක් නගරවැසියකුට අයත්ය. එම ඉඩමේ ගස්වල පොල් කඩන්නේ ගස් නැගි පොල් කඩන්නකු විසිනි. පොල් කඩන්නා නගරවැසියා හමුවට ආවේ වත්තේ පොල් පැසී ඇත්නම් කඩමුද කියා අසමිනි.


ඉඩම් හිමියා කීවේ ”ටික දිනකින් වත්තට ගියේ නැහැ. පොල් පැහිලා නම් කඩමු. වත්තට ගිහින් බලල මට පණිවුඩයක් එවන්න” කියාය.  ”පොල් පැහිලා නම් පණිවුඩයක් එවන්නම්. නැත්නම් මම ඒ පාරෙන් ගෙදර යන්නම්. මෙහේ එන්නෙ නෑ” පොල් කඩන්නා කීය.


එසේ කියූ පොල් කඩන්නා වත්තට ගොස් පොල් ගස් 5කට නැග පොල් ගෙඩි 55 ක් කැඩුවේය. එය අසල කඩයකට වික්කේ මහත්තයට සල්ලි බේරන්න යන්න හදිසියි කියමිනි.


පොල් ගෙඩි ටික විකුණා ගත් පොල් කඩන්නා මුදල් ද රැුගෙන ගෙදර ගියේ වතුහිමියාට පින් දෙමිනි. පසුදින වතුහිමියා ඉඩමට ආවේ පොල් පැසී ඇතිදැයි බැලීමටය. එවිට ඔහුට පොල් කඩන්නාගේ ක‍්‍රියාව දැන ගත හැකිවිය. ඒත් ඔහු පොලිසි ගියේ නැත. ඔහු කීවේ ”දැන් හොරුත් නැත. බඩුත් නැත. පොලිසි ගියොත් මට පොල් කඩන්නාද නැත” කියමිනි.