(තිහගොඩ උපසේන ලියනගම)
රෝගී තත්ත්වයේ සිටින බිරිඳට ප්‍රතිකාර ගැනීම සඳහා මහ රෝහල වෙත ඇයත් රැගෙන යතුරුපැදියෙන් ගමන් ගිය ඔහු නිරෝධායන ඇඳිරි නීතිය නිසා ප්‍රධාන මාර්ගය දිගේ නොගොස් අතුරු මාර්ගයක් දිගේ ගමන් ගත්තේ පොලීසිය ගැන සෝදිසියෙනි.
මොහොතකින් පසෙක වූ පොල් ඉඩමෙන් වේළුණ පොල් ගෙඩියක් වැටී පෙරළීගෙන ආවේ ඔහු ඉදිරියටය.
එය ගැනීමට සිතූ ඔහු යතුරුපැදියේ වේගය අඩු කළත් බිරිඳ එපා යං කීවේ වට පිට බලමිනි.
පොල්ගෙඩිය ලොකුය, රුපියල් සීයක් කියූ ඔහු බිරිඳගේ කීම නො අසා යතුරුපැදිය නවතා එය ගැනීමට යත්ම ඒ අසලට දිව ආ ඉඩමේ හිමිකරු මහත්තයා ඕවාට අයිතිකාරයන් ඉන්නවා කීමෙන් ලජ්ජාවට පත් ඔහු යළි යතුරුපැදිය අසලට ආවේ බිරිය දෙසද හොරැහින් බලමිනි.
යතුරුපැදිය යළි පණගන්වන විට අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තන්හාවක් යැයි බිරිය තාලයකට කීමෙන් ඔහු යතුරුපැදිය වේගයෙන් ධාවනය කරගෙන ගියේ බිරිඳගේ අසනීපය ගැනවත් නොසිතාලු.