මේ දිනවල පුවක් මිල ඉහළ යාම නිසා අපූරු පොල්, පුවක් වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරුවක් පිළිබඳව මාතලේ ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
පොල් ගෙඩියක් ගැනීමට මුදල් නොමැති වූ එක්තරා පුද්ගලයකු දස අතේ කල්පනා කළේ පොල් ගෙඩියක් මිලට ගන්නේ කෙසේද කියාය. ඔහුට හොඳ නුවණක් පහළ විය. මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 35ත් 50ත් අතරය. පුවක් මිල ද ඉතා ඉහළ වුණත් පුවක් ගෙඩියක් දෙකක් කඩයට විකිණීමත් ලජ්ජා සහගතය.
මෙකී පුද්ගලයා කෙසේ හෝ පුවක් ගෙඩි දහයක් අහුලාගෙන කාටත් නොපෙනෙන පරිදි වෙළෙඳසල් හිමියා අත තබා පොල් ගෙඩියක් ඉල්ලා සිටියේය. පුවක් මිලත් පොල් මිලත් ගැන දන්නා මුදලාලි පොල් ගෙඩි දෙකක්ම දී එම පුද්ගලයා පිටත් කර හැරියේය.
බුලත්විට කෑමට රුසියෙකු වූ කඩ පිලේ සිටි තවත් පුද්ගලයකු මේ වැඩවසම් යුගයේ මෙන් පැවති භාණ්ඩ හුවමාරුව බලා සිටියේය. විට කෑමට පුවක් ගෙඩියක් මිලට ගැනීමට ඔහු අත මුදලක් ද නොවීය. දෙයියෝ දුන්නා වගේ එහා වත්තේ ගසක පොල් ගෙඩියක් ‘‘දඩිං’’ ගාගෙන බිම වැටුණි. විට රුසියාට ගණදෙවි නුවණක් පහළ විය. වහ වහා දුවගොස් පොල් ගෙඩිය අහුලාගත් ඔහු ගෙඩිය ලෙලි හැර මුදලාලිට දෙමින් විට කෑමට පුවක් ඉල්ලා සිටියේය.
මිලට ගැනීමේ දී පොල් ගෙඩි දෙකක මිල පුවක් ගෙඩි දහයයි. මුදලාලි කල්පනා කළේය. එතකොට පොල් ගෙඩියක වටිනාකම පුවක්ගෙඩි පහයි. දැන් මෙයා පොල් ගෙඩියක් දෙමින් පුවක් ඉල්ලනවා. ගෙඩි පහක් දෙන්න බෑ. ඒක ගත් මිල නිසා මටත් ගෙඩි දෙකක්වත් ලාභයක් තියෙන්ට ඕන. එසේ සිතූ මුදලාලි විට රුසියාගේ පොල්ගෙඩියට පුවක්ගෙඩි තුනක් දුන්නේය.

