පොඩ්ඩන් ඇසුරේ නැළවෙන ලොක්කාගේ කැරැට්ටුව සොක්කා එළිකරලා


ලොක්කාගේ කැරැට්ටුව සොක්කා ඉදිරියේ සැමන් මාළු කෑල්ලකින් හෙළි වූ පුවතක් රජරට පෙදෙසට අයත්  එච් 04. මහවැලි ජනපදයට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි.

ඔහු ආයතනයක ප්‍රධාන පෙළේ පුටුවක් හොබවන නිලධාරියෙකි.

එහෙත් ලොක්කා නිරතුරුව සිටින්නේ පොඩ්ඩන් ඇසුරේය. පොඩ්ඩෝ මත් තොළ ගෑමේ පාටියකට සූදානම් වූහ.

කිහිප දෙනෙකු දිවා ආහාරය ගෙනැවිත් නැත. ඔවුහු එක්ව කෑමත් සූදානම් කළහ. ලොක්කා ද පාටියට පැමිණියේය.

පමණ ඉක්මවා ගිය බොහොමයකට උන් හිටි තැන් අමතකය. පිළියෙල කර ඇති කෑමත් නොගෙන ඔවුහු  හිටි තැන්වලම නින්දට වැටුණහ.

සවස් යාමයේ එක එකා නැගිට පිළියෙළ කර තිබූ කෑම ගැනීමට සූදානම් වූහ. බත් ඇත. තවත් ව්‍යංජන කීපයක් ද ඇත. එහෙත්   පිළියෙළ කර සැමන් මාළු නැත.

එම බඳුන බිම වැටී තිබුණි.

සැමන්වලට මොකද වුණේ.? සියල්ලෝ විමසූහ.

ලොක්කා ඇතුළු කිහිප දෙනෙකු බත් කෑ බව පැවසුහ. “කාමරයේ පුසෙක් හිටියා. ඒකා එළියට දාලා දොර වැහුවා” ලොක්කා කීවේය.

එහෙනම් සැමන් ටික පූසා කන්නට ඇත.  බඳුන බිම වැටී ඇත්තේ ද ඒ නිසා යැයි  සිතා අන් අය තිබෙන ව්‍යංජනවලින් වේල පිරිමසා ගත්හ.

අවසානයේ සියල්ලෝ ආයතනයෙන් නික්මුණහ. ලොක්කා සමඟ යාමට තවත් සේවකයෙක් යතුරු පැදියට ගොඩ වුණේය.

අතරමඟදී පොලීසිය යතුරු පැදිය පරීක්ෂාවට ලක් කළේය.

ලොක්කාගේ බෑගයේ මොනවාදැයි පොලිස් නිලධාරියෙක් විමසීය.

තිබෙන දේ සේවකයා ඉදිරියේ කීමට ලොක්කා ඈලීමෑළි විය.

ඒ නිසාම ඇති වූ කුතුහළය මත පොලීසිය එය පරීක්ෂා  කළේය.

එහි පිසූ සැමන් මාලුවක් තිබෙනු පොලීසිය දුටුවේය.

ඇයි සැමන් කියන්නට මැළි වුණේ. ‘‘ඇත්ත කීවානම් ඕක බලන්නේ නැහැනේ”  පොලීසිය ඔහුට දොස් නගමින් කීවේය.

පුසා කෑවා යැයි කියා ලොක්කා සතුටෙන් සඟවාගෙන ගෙදරගෙන ගිය  රහස සොක්කා ඒ සැනින් අන් සේවකයන්ගේ කනේ තිබ්බාලු.

 

මොරගොල්ලාගම  සිසිර කැලේගම