පෙරළුණු රියේ තුවාලකරුවන් ගොඩ ගනිද්දී කුඹුරුහිමියා අලාබය ගණන් බලලා


(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීගමුව බලා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රියක් කුඹුරකට පෙරළී තුවාලකරුවන් ගොඩ ගනිමින් සිටින අවස්ථාවේ එහි ආ කුඹුරු හිමියා තුවාලකරුවන් ගැන නොතකා තම කුඹුරට සිදුව ඇති හානිය තක්සේරු කරන්නට වූ පුවතක් පසුගියදා වාර්තා විය.

කාන්තාවක පැදවූ බව කියන ත්‍රිරෝද රිය හදිසියේ පාලනය කරගත නොහැකිව පාර අයිනේ වූ කුඹුරකට පෙරළී ඇත. පාරේ ගමන් ගත් පිරිසක් මේ බව දැක තුවාලකරුවන් සිටීදැයි බලා එහි සිටියවුන් ගොඩට ගැනීමට කටයුතු කරද්දී එහි ආ කුඹුරු හිමියා ත්‍රිරෝද රියට යට වී ඇති ගොයම ගැන සොයා බලමින් සිදුව ඇති හානිය රුපියල් වලින් ගණනය කරන්නට පටන්ගෙන ඇත.

 මේ බව දුටු සහායක පිරිස ඉස්සරවෙලා තුවාලකරුවන් ගැන බලමුයි කියද්දී මට ඒවයින් වැඩක් නැහැ. හෙට අනිද්දා කපන්න තියෙන අමාරුවෙන් හදාගත් ගොයම විනාශ වෙලා. ඒකේ අලාභය ගෙවා අනෙක් වැඩ බලමුයි පවසා ඇත.

මේ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස විරෝධය පළ කරද්දී කුඹුරු හිමියා අලාභය අමතක කර පිටව ගිය බවත් මෙම පුද්ගලයා කුඹුරු යායකට හිමිකම් කියන්නෙකු බව දැනගත් බවත් සිද්ධියට මුහුණ දුන් පිරිසේ සිටියෙක් පැවසීය.