පෙම්වතිය​ෙග් ජීවිතය බේරාදුන්නාට පෙම්වතාගෙන් කනේ පහරක්


වැසිබර සැන්දෑවක් වූ එදිනද නගරයේ සති පොළ දිනයක් වූ බැවින් නගරාන්තර මගී සේවා බස්රථවල පොල් පැටවූවාක් මෙන් අතුරුසිදුරු නොමැතිව මගීහු පිරී ඉතිරී සිටියහ. නගරයට ආසන්න ගම් නියම්ගම්වල වෙසෙන ජනයා නගරයේ සතිපොළ කරා පැමිණ තම තමන්ට අවැසි කරන බඩු බාහිරාදිය රැගෙන යාම කවදත් කෙරෙන සිරිතක් බැවින් දෑතින්ම බඩුමළු රැගත් මගී ජනයා බස්රියට ගොඩවී වහින්නට පෙර තම නිවෙස් කරා යාමට යුහුසුළු වූ බවක් දක්නට ලැබුණි.
බස්රථයේ පාපුවරුවේ පවා තදබද වී සිටි මගීන් රිය තුළට නංවා ගත් කොන්දොස්තරවරයා සීනුව හඬ නැගුමෙන් බස්රිය ගමනාරම්භ  විය. අතරමගදී දිගින් දිගටම හමුවෙන බස්රථ ගාල්වල මගීන් බස්සවා තරමක වේගයෙන් බස්රිය ධාවනය වන අතරතුර මාර්ගය හරහා දඩාවතේ යන බල්ලෙක් පැනීම නිසා ඌ බේරීමට රියදුරා තිරිංග තද කළේ බස්රථයේ වේගය අඩු කරන පිණිස කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙසිනි. 


මෙම හදිසි ‘‘බ්‍රේක් පාර’’ නිසා හිටගෙන අඩමානෙට සිටි මගීන් වාඩිවී සිටි මගීන්ගේ ඇඟට වැටුණ අතර පිටුපස දොරටුව අසල රැඳී සිටි තරුණියකගේ අත අතහැරී බස්රියෙන් ඉවතට විසිවීමට ‘‘ඔන්න මෙන්න’’ කියා  සිටියදී ඇය අසල සිටි තරුණයෙක් ඇගේ අතින් තරයේ අල්ලා ඇය බස්රිය තුළට ඇදගත්තේ බලවත් ආයාශයෙනි.
ඒ සමගම එම තරුණයාගේ කම්මුල හරහා එහි සිටි තවත් තරුණයෙකුගෙන් ‘‘චටාස්’’ ගා වැදුණ කනේ පාරෙන් එම තරුණයාගේ දෑස් නිලංකාර විය. තම පෙම්වතිය බසයෙන් නොවැටී අනූනවයෙන් ඇය බේරාගත් තරුණයාට ඔහු පැවසුවේ වනචරකමට තම පෙම්වතියගේ අතින් ඇල්ලූ බවකි.
පෙම්වතා එසේ පවසන විට අසල සිටි මගීන් තදබල ලෙස ඔහුට බැන වදින්නට වීම නිසා ඔහු ඇයත් ඇදගෙන ඊළඟ බස් නැවතුමෙන් බැස ගියේය.  

මතුගම පියසේන දොඩන්ගොඩ