පෙම්වතියට රැකියාවක් ලැබුණාම පෙම්වතාගේ රැකියාව අප්පිරියාවෙලා


ඔහු  නගරබද ජීවත්වෙන විසිපස් වියැති තරුණයෙකි. රැකියාව වාහන සර්විස් ආයතනයකය. ගම්බද තරුණියක වූ ඔහුගේ පෙම්වතියගේ උවමනා එපාකම් ඔහු නිතර සොයා බැලුවේය. වැටුප් ලද විට ඇයට ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ගෙනවිත් දීම ඔහුගේ සිරිතය.


කාලයක් ගතවිය. අඩු ආදායම් ලාභි පවුල්වලට රජයෙන් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පෙම්වතියට ද රැකියාවක් ලැබිණි. එය ගමේ රෝහලේ සාත්තු සේවිකාවක වශයෙනි. රැකියාව ලැබී මසක් ගත වූයේ නැත.  ඇය වෙනස් වන්නට වූවාය.


දිනපතා රාත්‍රියේ දුරකතනයෙන් ආදර බස් දොඩන ඇය නිහඬ වූවාය. පෙම්වතා කතා කළ විට ඇය පැවසුවේ වැඩට යන හින්දා හරිම මහන්සියි. පස්සේ කතා කරන්නම්’’ යනුවෙනි. ඔහුට ඇයගේ වෙනස්වීම ප්‍රහේලිකාවකි. දිනක් ඇය පෙම්වතාගේ සේවා ස්ථානයට පැමිණියේ තවත් තරුණයකු සමඟ ඔහුගේ යතුරුපැදියෙනි. පෙම්වතා ළඟට පැමිණි ඇය,‘‘ඔයා වාහන හෝදනවා දකින කොට මට හරිම ලැජ්ජයි. මම ආවේ අපේ සම්බන්ධය නතර කළා කියන්න. ආයේ මට කෝල් කරන්න එපා. අර මෝටර් සයිකලේ ඉන්නේ මම බඳින්න ඉන්න කෙනා. එයත් වැඩ කරන්නේ මාත් එක්ක. ගෙදරිනුත් අපට කැමතියි’’යැයි පවසා පිටව ගියාය.


මෙය අසා සිටි පෙම්වතාගේ මිතුරෙක්, ‘‘එයා හිතලා ඇති එයාට හොඳ ජොබ්  එකක් හම්බ වුණා කියලා. ඒකත් කම්කරු රක්ෂාවක්.’ යනුවෙන් පවසා මිතුරාගේ හිත සැනසුවේය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය.