පෙම්වතිය ළඟ තියාගන්න ගිහින් අන්තිfමි තරු පෙනිලා


තමා සමඟ ආදරයෙන් වෙලී සිටි ආදරවන්තයා තමන් උපායශිලීව රවටා විවාහ කර ගත් පුවත දැනගත් තරුණියක් එම තරුණයාට කොකා පෙන්වා යළිත් තම මවුපියන් කරා ගියබව කියවෙන පුවතක් ඌව පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 


සිද්ධිය මෙසේය. 


ඇය, තම මව සමඟ ජීවත්වන සුන්දර යුවතියකි. ඔහුද ඇගේ ගමට කිලෝමීටර් හත අටක් එහා ගමේ ජීවත්වන තරුණයෙකි. 


ආ ගිය ගමන්වලදී දැන හැදිනගෙන පෙම්වතුන් බවට පත්වූ ඔවුහු හැකි හැමවිටම එකිනෙකා මුණගැසී පෙම්බස් තෙපලීමට අමතක නොකළහ. 
විවාහ වීමේ කල වයස එළැඹ සිටීමත් කියන්නට තරම් ගැටලුකාරී තත්ත්වයක් නොවීමත් නිසා මේ දෙපළගේ නිවෙස්වලින්ද ඊට ලොකු විරුද්ධත්වයක් නොවිණි. 


කෙසේ වෙතත් කිසියම් මානසික ව්‍යාකූලතාවකින් පෙළුණු තරුණයා නිතර සිතමින් සිටියේ නෙත් වසඟ කරගන්නා රූපසොබාවෙන් යුත් තම පෙම්වතිය කොයි මොහොතක හෝ තමන් අතහැර වෙනත් තරුණයෙකුගේ අතගනු ඇත කියාය. 


විවාහ වීමට තමුන් ගෙනා යෝජනාව එම තරුණිය විවිධ හේතු ගෙනහැර පාමින් දිනෙන් දින කල්දැමීම තරුණයාගේ සැකය තව තවත් තහවුරු කිරීමට ද සමත්විය. 


තම හිතට වදයක් වූ මෙම කාරණය ඔහු සිය මිතුරන්ටද කීවේ ඔවුන්ගෙන් හෝ ඊට සහනයක් ලැබෙනු ඇතැයි සිතාය. 


අවසානයේදී ඔහුට ඊට කදිම උපායක් යෙදුවේ සිය මිතුරු පිරිසගේ ද සහාය ඉල්ලා සිටිමිනි. 


“මචං මම එයත් එක්ක බස් එකක ගිහින් පාළු තැනක බැහැල කතා කර කර ඉන්නම් උඹලා ඇවිත් මට ගහල අපි දෙන්නව වාහනේක දාගෙන ගිහින් කසාද බන්ඳවපල්ල.” තරුණයා සිය සැලසුම සිය මිතුරන්ට පැහැදිලි කළේ අවශ්‍ය සෙසු උපදෙස්ද ඔවුන්ට පහදා  දෙමිනි. 


කතිකා කර ගත් පරිද්දෙන්ම තරුණයා ප්‍රමුඛ මිතුරු පිරිස සැලසුම ක්‍රියාවට නැංවූහ. 


සැලසුම ක්‍රියාවට නංවද්දී මිතුරන්ගෙන් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූවද සිය පෙම්වතිය විවාහ කර ගැනීමට හැකිවීම පිළිබඳව තරුණයා සිටියේ අපමණ සතුටකිනි. 


කෙසේ වෙතත් දින කීපයක් ගත වෙද්දී ඔහුගේ මිතුරු පිරිස සිය හපන්කම තැන තැන කියන්නට පටන් ගත්තේ අසා සිටිනවුන්ටද ත්‍රාසය කුතුහලය මෙන්ම සිනහවද උපද්දවමිනි. 


කනින් කොනින් පැතිර ගිය මිතුරු පිරිසගේ උපාය මෙම තරුණියගේද කන වැටීමට එතරම් කලක් ගත නොවිණි. 


සිය පෙම්වතාගේ මෙම නොමනා ක්‍රියාවෙන් පුදුමයටත් කේන්තියටත්, කලකිරීමටත් පත් තරුණිය, තරුණයාටත් නොකියාම ඔහුගේ නිවසින් පිටව සිය නිවෙස කරා පිය නැංගේ තම විවාහ දිවියටත් තිත තබමිනි. 


අවසානයේ මිතුරු පිරිසට මෙන්ම තරුණයාට එරෙහිව පොලිසියේ පැමිණිලි කරන්නටද ඇය කටයුතු කළේ ඔවුන්ට හොඳ දඬුවමක් ලබා දීමේ අටියෙනි. 

(වියලුම වාර්තාකරු)