කොළඹ නගරයෙන් මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රියෙක වූ සිද්ධියකි.
එදින උදේ කාලයෙන්ම මහනුවර බලා යෑමට සූදානම් වූ මේ බස්රියේ කොන්දොස්තර කිසියම් අවශ්‍යතාවකට බසයෙන් බැස ඉවතට ගොස් තිබිණි. එසේ වුවත් රියදුරු බසයේ එන්ජිම පණගන්වා ගෙන සිය අසුනට වී සිටියේය.
මේ අවස්ථාවේදී වැඩිහිටියෙක් සමග රියදුරු අසලට පැමිණි තරුණ පුද්ගලයෙක් ආයාචනයක් කරනු ඇසිණි.
‘‘මේ ඩ්‍රයිවර් මහත්තයෝ.. මේ අපේ අම්ම මෙයාව මම බස් එකට නග්ගවනව. සමහර විට මෙයාට අමතක වෙලා නින්ද යන්නත් පුලුවන්. පොඩ්ඩක් වරකාපොලදී මෙයාට කතා කරනවද....’’
‘‘හරි ...හරි.... මචං.. මම ඒක කරන්නම්.. මේ මට පිටි පස්සේ සීට් එකේ ඉන්දවන්නකෝ. රියදුරු එසේ කීවේ එකී කාන්තාව සමග ආ පුද්ගලයා තමා දන්නා හඳුනන කෙනෙකු බැවිනි.
අනතුරුව රියදුරුට පිටුපස අසුනේ ඒ අම්මා අසුන් ගැන්වූ මේ පුද්ගලයා ‘‘එහෙනම් මම යන්නම්... මචං’’ කියාගෙන බසයෙන් බැස යන්න ගියේය.
විනාඩි කිහිපයක් ගෙවී ගියේය. බසය මගීන්ගෙන් පිරුණි. කොන්දොස්තර තැනද වහා පැමිණ මගීන්ගෙන් මුදල් අය කරන්නට පටන් ගත්තේය. බසය මහනුවර බලා යෑමට ගමන් ඇරැඹිණි.
රියදුරු තැනට මිතුරාගේ මව ගැන සිහිපත් වූයේ වරකාපොල නගරය පසු වී කිලෝ මීටරයක් තරම් දුරක් ගෙවුණු පසුවය. වහාම බසය නැවතූ රියදුරු තැන පිටි පස හැරී එකී කාන්තාව දෙස බැලීය. ඇය ඇත්තෙන්ම සුව නින්දක පසුවෙමින් සිටියාය.
‘‘බස් එකේ ඉන්න මහත්වරු කලබල වෙන්න එපා. මම පොඩි වේලාවක් බස් එක පොඩ්ඩක් ආපහු හරවනව. ඒ මොකද දන්නවද,. මම මේ යාලුවෙකුගෙ අම්මා කෙනෙක් වරකාපොලින් බස්සන්න පොරොන්දු වුණා. මට ඒක දැනුයි මතක් වුණේ....කී රියදුරු බසය ආපසු හරවාගෙන වරකාපොළ බස් නැවතුම්පොළ වෙත පැමිණියේය.
‘‘අම්මේ... අම්මෙ... නැගිටින්න.... මෙන්න වරකාපොල.. ඉක්මනට බැහැගන්න’’ රියදුරු ඒ කාන්තාව නින්දෙන් අවදි කළේය.
‘‘ඈ. වරකපොල කිව්ව. හා හා හොඳයි පුතේ...’’ කියමින් ඇය බෑගයක් ගෙන එයින් බෙහෙත් පෙති කිහිපයක් කටට දමා වතුර ටිකක්ද බී.. හරි හරි..... පුතේ දැන් ඉතින් ඉමු. ...’’ කීවේය.
‘‘මොනව ඇයි අම්ම බහින්නෙ නැද්ද’’ රියදුරු ඇසීය.
‘මම මොකටද බහින්නෙ.. මම යන්නේ නුවරටනේ. මේ ටිකට් එක නුවරට ගත්ත..’’ කාන්තාව කීවාය.
‘‘එතකොට පුතා කිව්වේ වරකාපොලදි අම්මට කතා කරන්න කියලා.’’
‘‘ඒ මේ බේත් ටික බොන්නනෙ’’ ඇය කීවාය.
හිසේ අත ගසාගත් රියදුරු කෝපයෙන් දැවෙමින් බසය යළි නුවර බලා ගමන් ඇරඹීය.
ජයපාල හෙට්ටිආරච්චි - නාවාන, මීරිගම