පුහුලමේ තාලෙටම කජු කා වැඩේ වණවෙලා


සීතල දේශගුණයකින් හෙබි බණ්ඩාරවෙල ප්‍රදේශයේ උපන්දා සිට ජීවත් වන ඇය ජාත්‍යන්තර විද්‍යාලයක ඉගෙනුම ලබන්නීය. මවගේ ගම වූයේ ද බණ්ඩාරවෙලය. මව ගුරුවරියකි.

පියා යුද හමුදාවේ උසස් නිලයක් දරණ අයෙකි. පියාගේ ගම විරුවන්ගේ නිජබිමක් වූ දකුණේ සුන්දර ගම්මානයකි. කුඩා කාලයේ සිටම ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන මෙම සිසුවියන් පින්තූර වලින් පමණක් දැක තිබූ කජු පුහුලන් සජීවීව දැක ගැනීමට හැකි වූයේ මෙවර අවුරුද්දට පියාගේ ගමට පැමිණි විටදීය.
පියා කජු පුහුලමක් සොයාගෙනැවිත් ඒ ගැන විස්තරයක් කර පුහුලම කපා ගෙන කෑමට දුන් නමුත් කජු ගෙඩිය කන ආකාරය පිළිබඳව කියා දීමට අමතක වී ඇත. සුපිරි වෙළෙඳසල් වලින් කජු මද ගෙනැවිත් ආහාරයට ගෙන තිබුණ හෙයින් සිසුවියන්ට එහි රසය ගැන වහ වැටී තිබුණි.

කජු පුහුලම කෑමෙන් පසු අක්කා සහ නංගී කජු ගෙඩිය කෑමට සූදානම් වූහ. නැගණිය අක්කාට වඩා කලින් කජු ගෙඩිය ගෙන කෑමට සූදානම් වූවාය. රට කජු කන විටදී කටින් හපා පොතු අරින්නා සේ කජු ගෙඩියත් ගෙන එකවර කටින් හපන්නට වූවාය. එහෙත් කජු කිරි පිටවී කට වනවීමට වැඩි වෙලාවක් ගත නොවීය. වේදනාවෙන් කෑ ගසන විටදී පොල්තෙල් ආලේප කොට වේදනාව අඩු වුවත් තුවාල සනීප වීමට දින කිහිපයක් ගත විය.

‘පුතේ අපි කැලේ කොලේ දුවල පැනල හැදුණු අය. අපි කුඩා කාලයෙත් කජු කන්න ගිහින් කජු කිරිවලට කට වනවී තිබෙනවා. අපේ රටේ තිබෙන පලතුරු ගැන දරුවන්ට කියා නොදීම අපේ වරදක් යැයි පියා කීවේය.

බළපිටියේ - එස්.ඒ.වයි.ද සිල්වා