පුතුගේ මගුලදා අම්ම්මාත් කසාදෙකට ලෑස්ති වෙලා


මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
දහඅට හැවිරිදි පුතණුවන්ට මනාලියක සොයන අතරේ හැට නව හැවිරිදි තමන්ටද මනාලයකු සොයන ලෙසට මඟුල් කපුවකුට දැන්වූ මවක පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
මවත් පුතාත්  දෙන්නාම එකම නිවසේ පදිංචිව සිටිති. මව කලක සිට සැමියාගෙන් වෙන්ව සිටින්නේ දික්කසාදය බලාපොරොත්තුවෙනි. සැමියා වෙනම නිවසක වෙසේ. වැඩිමහල් දියණියෝ විවාහවී  දරු මල්ලන් සමග පවුල් කති.


බාල පුතාට විවාහයක් කරදීමට මව කල්පනා කළේ මේ අතරය. දන්නා හඳුනන අයකු මගින් මඟුල් කපු මහතකු ගෙන්වා ගත්තේ පුතුට ගැළපෙන මනාලියක පිළිබඳව විස්තර දන්වනු පිණිසය. කපුවා සමග විස්තර කතා බහ කර ගනුදෙනුද කතා කරගත් මව අවසානයේ තමන්ට තවත් සේවයක් සලසා ගත යුතු බව පැවසුවේ හොර රහසේය. ඒ සඳහා පුතුගේ ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවන්නට හැකි බව ඇය පැවසුවාය.
තමන්ට දෙගුණයක් ගෙවා කරගන්නට ඇති ඒ කාරණය කුමක්දැයි කපුවා විමසුවේ මහත් විමතියෙනි. ‘මටත් මනාලයකු සොයා දෙන්න’ ඇය ඉල්ලා සිටියාය. තමන්ගේ වයසට ගැළපෙන විවාහකයකු ඒ සඳහා සුදුසු බව ඇය කීවාය.
පුතුටවත් මේ ගැන නොදන්වන ලෙස ඉල්ලූ මව තවත් ඉල්ලීමක් කළාය. ඒ පුතුගේ විවාහය සිදුවන දවසේම තමන්ගේ ද දෙවැනි විවාහය සිදුවීම අවශ්‍ය නිසා පුතුට මනාලියක මෙන්ම තමන්ටද මනාලයකු සොයාගෙන එන්නැයි ආයාචනා කර නියමිත ගාස්තුව දෙගුණයක් පසුව ගෙවන පොරොන්දුව මත ගමන් වියදම් ලෙස විශාල මුදලක්ද කපුවා අත තැබුවාය.


දහඅටේ පුතාට සහකාරියක සේම හැට නවයේ මවට සහකාරයකු එකම දවසක සොයා ගන්නේ කෙසේදැයි යන උභතෝකෝටික ගැටළුවක පැටලු‍ණු කපුවා හිතවතකුට මේ ගැන සැලකිරීම නිසා මවගේ රහස් කටයුත්තට බාධාවක්වීමෙන් කපුවා කපෝතිවන ලකුණු පහළවී 
ඇත්තේ ලු‍.