පුතාට මනාලියක් බලන්න ගිය මවට දෙකොන මාරුවෙලා


කඹුරුපිටිය විශේෂ  කේ. අජිත්.

වචන නිසි ලෙස භාවිත නොකිරීම නිසා පවුලේ අය ඉදිරියේ අපහසුතාවට පත් වූ කාන්තාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.

එම කාන්තාවගේ පුතා ආරක්ෂක අංශයේ රාජකාරියේ යෙදී සිටියේ නැගෙනහිර පළාතේ අති දුෂ්කර ගම්මානයකයි. රාජකාරී කටයුතුවල නිරත වූ ප්‍රදේශයේම තරුණියක හා ආදර සම්බන්ධතාවක් ගොඩනගා ගත් ඔහුට මවුපියන්ගේද ආශිර්වාද මැද විවාහ දිවියට ඇතුළත්වීම එකම අපේක්ෂාව විය.

මේ බව මවුපියන්ට දැනුම් දුන් ඔහු ඇයගේ නිවෙසට යාමට තීරණය කළේය.

අදාළ දිනයේ මවුපියන් සමග පමණක් පොදු ප්‍රවාහන සේවයෙන් ගමනට සහභාගි වූයේ වැඩි පිරිසක් ගමනට සහභාගී වීම අධික වියදම ගෙන දෙන නිසාවෙනි. එම නිවෙසින් ලැබු සංග්‍රහ භුක්ති විඳි ඔවුන් සතුටු සිතින් එදිනම එම නිවෙසින් පිට වූයේ එහි රැඳීම නුසුදුසු බැවිනි.

තම සහෝදරයාගේ පෙම්වතිය පිළිබඳ තොරතුරු දැනගැනීමට නොඉවසිල්ලෙන් මග බලා සිටි පවු‍ලේ අය මව ගෙට ගොඩවනවාත් සමගම විමසා සිටියේ “අම්මේ මනමාලිය කොහොමෙයි, යනුවෙනි. ඒ සමගම “අනේ ළමයිනේ ඒ ඔක්කොම ‍හොඳයි හැබැයි පස්සා පැත්තේ කරගැට යනුවෙන් පවසා තම කාමරයට ගියේ ඇඳුම් මාරු කරගෙන ඒමටයි.

මවගේ පිළිතුරින් විමතියට පත්  ඔවුන් මුහුණට මුහුණ බලාගත්තේය. අනතුරුව මවගෙන් ඔවුන් විමසා සිටියේ ‘‘අම්මා ඒක දැක්කෙ කොහොමෙයි’’ කියාය. තමාට වචන පටලැවී ඇති බව දැනගත් ඇය “අනේ ළමයිනේ ඒ දුවගෙ නෙමෙයි හැතැප්ම ගණනක් එකදිගටම වාඩිවෙලා  ගිහින්  මගේ පස්ස පැත්තෙ තමයි කරගැට ඇවිත් තියෙන්නෙ යනුවෙන් ඇය සිනාසෙමින් පැවසුවාය. එතැන සිටි පිරිස කොක්හඬලමින් සිනාසෙන්නට වූහ. එවිට මවද තම පසු පෙදෙස අත ගාමින් එම සිනාවට එකතුවෙමින් ගමනේ තොරතුරු පවසන්නට වූවාය.