ප්‍රදේශයේ වැදගත් අන්දමින් ජීවත්වන රජයේ සේවයේ නියුතු පවුලකි. බිරිය පාසල් ගුරුවරියකි. ස්වාමියා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකි. ඔවුනට වයස අවුරුදු 11ක පුතෙකි. දුවණියට අවුරුදු 09යකි. ගුරුවරියක් වුවද විවාහ වු දින සිට බිරිය ස්වාමියා අමතන්නේ අයියා කියාය. ස්වාමියා ඇය අමතනු ලබන්නේ ද නංගී කියාය.
බිරියගේ මල්ලීගේ විවාහ උත්සවය නාගරික හෝටලයක ඉහළින් සංවිධානය කර තිබූ අතර නෑදෑ හිතමිතුරන්ටත් ප්‍රභූ පැලැන්තියේ අයටත් ආරාධනා කර තිබුණි. පවුලේ ඥාතීහු මනාව හැද පැළඳ සිටි අතර මෙම යුවළ ද දරු දෙදෙනා ද කැටුව මෙම උත්සවයට සහභාගිවී සිටියහ.
මංගල කටයුතු ආරම්භ කිරීම සඳහා කෙටි වේලාවක් තිබූ නිසා පැමිණි පිරිස සතුටු සාමීචියේ යෙදී සිටියහ. ඒ අතර අවුරුදු 11 පුතා සහ අවුරුදු 09 දුවණිය ගැන විමසීම ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබිණි.
පුතා ගැන කතාබහ කරමින් සිටියදී වයස අවුරුදු 11 පුතා “මමත් කවදා හරි කසාද බඳින්නේ මේ මගේ නංගීමයි නංගීමයි කියමින් නේද නංගී” කියා ඇයගේ අත අල්ලා ගත්විට ඇය ද එයට නිසි ප්‍රතිචාර දැක්වුයේ නොදන්නාකමින් වුවද සුන්දර සිනාවකිනි.
එය කන වැකුණු සියල්ලන් විමතියෙන් යුතුව දරුවන් දෙදෙනා දෙස බලා සිටියදී අයෙක් පවසා ඇත්තේ “පුතේ නංගිලා කසාද බඳින්නෑ” කියාය. එවිට දරුවා “ඇයි අපේ තාත්තත් තාත්තගේ නංගිනේ කසාද බැඳලා තියෙන්නේ” යැයි දරුවා ක්‍ෂණිකව කී නිසා පියාත් මවත් නිරුත්තරව බිම බලා ගත්හ.
(රිකිල්ගස්කඩ - ටී.ඇම්. සෝමපාල)

