පුතා කළුවරේම මවගේ ඇස් වසා මාලය කඩාගෙන


මවගේ දෙඇස් කළුවරේ සිය දෙඅත්වලින් වසා ඇයගේ ගෙල පැළදි රන්මාලය සොරකම් කළ පුතකු පිළිබඳ අපූරු පුවතක් දකුණු ලකේ නගරයකින් වාර්තාවේ.

ඔහු මත්ලොලියෙකි. ඔහුගේ වයස්ගත මව සිය පුතා මත්කුඩුවලට ඇබ්බැහිවී ඇති අයකු බව නොදත්තාය. ඒ ඇය ඒ පිළිබඳව නොදන්නාකම නිසාය. ඔහු ඒ සඳහා මිල මුදල් ලබා ගන්නේ ද සොරකම් කොටය. ඇඟට පතට නොදැනී දෙන ගේම්වලින්ය.

එදා ඔහුට මත්කුඩු ගැනීමට මොනම ක‍්‍රමයක්වත් උදා නොවුනි. අන්තිමේදී ඔහු අලූත් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළේය. පස්වරුවේදී ගෙදරින් අතුරුදන් වූ ඔහු සිය මව කළුවර වැටීගෙන එනවිට නිවෙස ඉදිරිපිට ඇති රෙදි වැලට රෙදි ගැනීමට එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. කළුවර වනවිට අක්‍ෂි ආබාධය තවත් උග‍්‍රවන බව දත් ඔහු රෙදි වැලට පැමිණි සිය මව දෙසට පූස් ගමනින් පැමිණ ඇයගේ දෙඇස් ඔහුගේ අත් දෙකෙන් වසා ඇය ගෙල පැළදි රන්මාලය කඩාගෙන දිව්වේය.

මෙයින් කලබලවූ ඇය මෙන්න හොරෙක් මෙන්න හොරෙක් මගේ මාලය කඩා ගත්තා යැයි කෑමොර දී නිවැසියන් හා අසල්වාසීන් රැුස් කළ ද ඒ වනවිටත් ඔහු අන්තරස්දානවී තිබිණි. අන්තිමේදී මේ පැමිණිල්ල අදාළ බල ප‍්‍රදේශයේ පොලිසියට ද ගියේය.

මේ හොරකම වෙන කිසිවෙකු නොව ඇයගේම පුතා විසින් කරන්නට ඇතැයි පොලිසිය සැක කළේ ඔහු මත්ලෝලියකු බව පොලිසියට වාර්තා වී තිබු නිසාය. ඒ අනුව ඔහු වහාම සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තමා මවගේ දෙඇස් දෙඅත්වලින් වසා මාලය කඩාගත් බව පොලිසියේ දී පිළිගත්තත් තමාගේ පුතා මෙවැනි සොරකමක් කළ බව මවට පිළිගැන්වීමට පොලිසියට මහත් පරිශ‍්‍රමයක් දරන්නට සිදුවිය.