පිළුණු වඬේ ඔළුවට ඇවිල්ලා


මගී බස් රථයක් තුළදී පිළුණු වඬේ විකුණූ වෙළෙන්දෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ කාන්තාවක් පිළිබඳව පුවතක් පසුගිය දිනක අම්පාර ප‍්‍රදේශයෙන් වාර්තා විය.


වාර්තා වූ අන්දමට මෙම සිද්ධියට අදාළ කාන්තාව අම්පාර උහන ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය පසුගිය දිනක කිසියම් අවශ්‍යතාවක් සඳහා ඥාතියකු සමග අම්පාරේ සිට අනුරාධපුරයට පැමිණෙමින් තිබූ බස් රථයට ගොඩවී ඇත. අතරමග නගරයකදී බසයට වඬේ වෙළෙන්දෙකු ගොඩවී ඇති අතර මෙහිදී රුපියල් සියයක් වෙළෙන්දාට ගෙවා වඬේ හතක් ගෙන ඉන් එකක් තමා අතට ගෙන ඉතිරිය කවරය පිටින්ම සිය ඥාතිවරියට පිළිගැන්වූවාය. 


නමුත් වඬේ සියල්ලම පිළුණු වී ඇති බව එහිදී ඔවුන් දෙදෙනාට ක්ෂණිකව අවබෝධ විය. මෙහිදී එම වඬේ මිලදී ගත් කාන්තාව වඬේ වෙළෙන්ඳා කොහිදැයි කියා බස් රථය තුළ වටපිට බලා ඇතත් කපටි වෙළෙන්ඳා ඒ වනවිටත් බස් රථයෙන් බැස ගොස් තිබුණි.
දැන් ඉතින් කරන්නට දෙයක් නැත. නවතා තිබූ බස් රථයද ඉදිරියට ඇදීමට සූදානම්ය. වඬේ පාර්සලයත් අතේ තියාගෙන කේන්තියෙන් පුපුර පුපුරා සිටි කාන්තාවට අදාළ වඬේ වෙළෙන්ඳා බස් රථය අයිනෙන් ගමන් කරන අයුරු එක්වරම බස් රථයේ ජනේලයෙන් දැක ගත හැකි විය. ඒ වනවිටත් කේන්තිය ඉහවහා ගොස් සිටි කාන්තාවට වෙළෙන්ඳා දැකීමෙන් උන්හිටි තැන් පවා අමතකව ගොස් ජනේලයෙන් පිටතට හිස දමා ” ඕයි උඹම මේක කාපන්” යැයි මහ හඬින් පවසා වඬේ පාර්සලයෙන් වෙළෙන්දාගේ හිසට දමා ගසා ඇත.


මෙම ප‍්‍රහාරයෙන් අන්දමන්දවූ වෙළෙන්ඳා තමන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට දෙනෝදාහක් මැද වටපිට බලන විටත් බස් රථය ඉදිරියට ධාවනය වෙමින් තිබිණි.