පියා පුතාගේ කන වෙන්වෙන්නම කාලා


(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පියා විසින් තම පුතාගේ වම් කන සපා කෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගැලවී ගිය කනද සමගින් පෙරේදා (15) රාත්‍රියේදී පුතා රෝහල් ගතකර ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි. 


මෙලෙස වම් කන අහිමි වී ඇත්තේ පොල්පිතිගම පොලිස් බලප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ක අවිවාහක තරුණයෙකුගේ බව පොලිසිය සඳහන් කරයි.


අවුරුදු උත්සවයට සමගාමීව යහළුවන් සමඟ එක් වී පදමට වෙරි වූ පියා නිවසට පැමිණ තම මව සමඟ අඬදබර වී ඇයට පහර දෙන අවස්ථාවේ දී පුතා එය බේරීමට උත්සාහ දරා ඇත.


ඒ අවස්ථාවේ දී මවට පහර දීම වැළක්වූයේ යැයි කුපිත වූ පියා තම පුතාට පහර දෙමින් කන සපා කා ඇති බවත් එහි දී වම් කන ගැලවී ගොස් ඇති බවත් ඒ සම්බන්ධව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.


තුවාලකරු අහිමි වූ කනේ කොටසද සමඟින් පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කොට ඒ මොහොතේ ම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් සේවකයෙක් පැවසීය. 


ඒ පිළිබඳව අපි කුරුණෑගල රෝහලෙන් විමසීමක් කළ අවස්ථාවේ දී එහි සේවකයෙකු කියා සිටියේ අහිමි වූ කන සමඟින් තුවාලකරු ප්‍රමාද වී පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත්ව පසුව කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇතත් තුවාලකරු මේ වනවිට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් කනේ බද්ධ කිරීමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳව කිසිවක් හෙළිකළ නොහැකි බවය.


සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (16) මහව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය පිළිබඳව පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.