(හාලිඇල ලලිත් දිසානායක)
අවුරුදු සාජ්ජයක් අවසානයේ පිය-පුතු ගැටුමකින් මිතුරෙකුගේ කකුලෙන් මස් කෑල්ලක් අහිමිවීමේ සිද්ධියක් බදුල්ල නගරයට ආසන්න ගමකින් වාර්තාවේ.
අලූත් අවුරුදු සැමරුමට එකතු වූ මිතුරන් පිරිසකි. මේ අතරට එක මිතුරෙකුගේ පියෙකු ද එකතු විය. ඔහු මද වශයෙන් ඔල්මාද ගති ඇත්තෙකි.
සාජ්ජය මධු විතින් ඉතිරී ගොස් සැවොම පදම් වී සිටියහ. අල්ලාප සල්ලාපයේ මෙන්ම ගීත මිහිරෙන් ද මත් වූ පිරිස අතර එකවරම පියා සහ පුතු අතර ගැටුමක් ඇතිවිය. පුතා පියාට දිගට හරහට පහර දේනනට විය. මෙය බලා සිටි මිතුරෝ කෝපයට පත්ව පුතාට පහර දෙන්නට වූහ. දැන් මිතුරන් අතරේ ගැටුමකි.
එක්වරම පුතා අනෙකුත් යහළුවන්ගේ පහරින් බේරා ගැනීම සඳහා මිතුරකු ඔහුගේ ඉඟවටා දෑත් යවා තරයේ අල්ලා ගත්තේය. මෙයින් බේරීමට පොර බැලූ ඔහු දෙකට නැමී තමා අල්ලාගත් මිතුරාගේ කකුල සපා කෑවේය. වේදනාවෙන් කෑ ගැසූ මිතුරාඔහු අත හැරියේය.

