- මොරගොල්ලාගම - සිසිර කැලේගම
පැළ සිටුවන්නට අනුග්‍රහය දුන් ගොවි සංවිධානයක ලේකම්වරිය, පැළ පරික්ෂා කිරීමට පැමිණි කොන්ත්‍රාත් සමාගමක ලොක්කකු එක්ක පලා ගොස් ඇති පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ.
වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියට අයත් වැව් ආශ්‍රිතව මෙම පැළ සිටුවීම ක්‍රියාත්මක කෙරුණි.
පැළ සිටුවීම සඳහා කොන්ත්‍රාත් සමාගමක් හා වයඹ ඇළ ව්‍යාපෘතිය ගිවිසුම් ගසා තිබුණි. ඒ අනුව පැළ ලබාදීම කොන්ත්‍රාත් සමාගම විසින් සිදු කරනු ලැබූ අතර ඒවා සිටුවීම පොල්පිතිගම බලප්‍රදේශයේ ගොවි සංවිධානයක් හරහා ක්‍රියාත්මක වුණි.
ඒ සඳහා පැළ සිටුවීමට බෙදා දීම හා ඒවා සිටුවන ආකාරය නිරීක්ෂණය වුණේ එකී ගොවි සංවිධානයේ මෙම ලේකම්වරිය හරහාය.
ඇය විවාහකය, දරුවෝ දෙදෙනෙක් ද සිටිති. අවුරුදු 35 - 40ත් අතර වියේ පසුවන ඇය මෙම සේවාව සඳහා නිවසේ සිට අදාළ පැළ සිටුවන වැව් සොයා පැමිණියාය. පැළ සිටුවීම ද සිදු කළාය.
ඒ අතරේ සිටුවන ලද පැළ පරික්ෂා කිරීම සඳහා කොළොම්පුරයේ සිට කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීහු පැමිණියහ.
ගොවි සංවිධානයේ කඩවසම් නිලධාරිනිය දෙස කොළඹින් පැමිණි නිලධාරින් අතර සිටි අයෙකුගේ නෙත ගැටුණි. ඇය ද ඔහු දෙස බැල්ම හෙලුවාය. වැඩි වේලාවක් ගතවූවේ නැත. දෙදෙනා පෙම්වතුන් බවට පත් වූහ.
පැළ සිටුවීමට මුදල් ගැනීමේ කොන්ත්‍රාත්වලට අත්සන් කළ යුත්තේ ද මෙම ලේකම්වරිය වේ. ඒ සියල්ල පසෙක තබා ඇය වසර ගණනාවක් තිස්සේ ආදරය කළ සිය සැමියා හා මව් තුරුලේ හැදුණු වැඩුණු දරු දෙදෙනා අමතක කර දැමුවාය. ඇයගේ අත ගත් නව සහකරුවා ද සිය විවාහක බිරිය හා දරුවන් හැර දමා ඇත. නව යුගදිවියක් සඳහා දෙදෙනාම ගම්පළාත් අතරින් නික්ම ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.