පැරදුණ දුක තුනීවෙන්න රැයක් පුරා කවි කියලා


මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප‍්‍රධාන පක්‍ෂයකින් තම ආසනයෙන් ඉදිරිපත්වූ අපේක්‍ෂකයා පරාජයට පත්වීම ගැන දුකෙන් මනාප නිකුත් කළ දින රාත‍්‍රියේ මධුවිත පානය කොට පසුදා පහන්වතුරු හිටිවන කවි කියමින් තම දුක තුනී කරගත් පුද්ගලයකු පිළිබඳ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එක්තරා ගම්මානයකින් වාර්තා වූ රසවත් පුවතකි මේ.

ඔහු තම ආසනයේ ප‍්‍රධාන පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත්වූ එම අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දිවා රැුයේ වෙහෙස මහන්සියෙන් වැඩ කළ අයෙකි. බොහෝ දෙනෙක් පක්‍ෂයේ අපේක්‍ෂකයින් කිහිප දෙනෙකුට වැඩ කළද ඔහු මනාප සෙවීමට උත්සාහ කළේ තම ආසනයෙන් ඉදිරිපත්වූ එම අපේක්‍ෂකයාට පමණි.

එම අපේක්‍ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයේ අපේක්‍ෂකයාගේ ඡායාරූපය සහිත පෝස්ටර් වැඩි ගණනක් ආසනය පුරාද ඉන් පිටද ඇලවුණේ ඔහුගේ අතිනි. හිටිවන කවි කීමට දක්‍ෂතා දැක්වූ ඔහු හිටිවන කවිද ඉදිරිපත් කරමින් ඡන්ද රැස්වීම්වල කතා පැවැත්වූයේ පැමිණි පිරිස් සතුටට පත් කරවමිනි. තම අපේක්‍ෂකයාට පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ වරම ලැබේය කියා දැඩි විශ්වාසයකින් බලාපොරොත්තුවකින් සිටි ඔහුට අපේක්‍ෂකයාගේ පරාජය මහත්වූ සිත් තැවුලකට හේතුවිය.

මනාප නිකුත්වූ දින රාත‍්‍රියේ ඔහු වසර 5 කට පමණ පසු මධුවිත ටිකක් සප්පායම්වී සිටියේ හිතේ ඇති දුකටම බව ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා දැන සිටියහ. එදින රාත‍්‍රියේ නිවසේ අයට හරිහැටි නිදා ගැනීමට ”හිටිවන කවි” බාධාවක් වුවද ඔව්හු එයින් මහත්වූ සතුටක් ලැබූහ. ඔවුන් මහත්වූ සතුටක් ලැබුවේ ඔහුගේ මුවින් පිටවූ පහත කවිය ඇසීමෙනි. එයින් කියවුණේ අපේක්‍ෂකයාගේ බිරිඳටත් වඩා අපේක්‍ෂකයාගේ මුහුණ ඔහු අතගා ඇති බවකි.

ඒ රුව සහිත පෝස්ටර් අලවන විටය.

 

මේ අත් දෙකෙන් ඇලවූ පෝස්ටර් ගාන

දන්නේ මා පමණි මැදියම රෑ පාන

අපෙ මැතිඳුන්ගේ ලස්සන ඒ සුදු මූණ

මැතිනිට වඩා අතගා ඇත මේ සේන