(රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි)
විස්තර වාර්තාවක් ලබාගැනීම සඳහා පාසලකට පැමිණි කාන්තා පොලිස් නිලධාරිනියක් එම පාසලේ ආරක්ෂාවට සිටි මව්පියන් විසින් ආපසු හරවා යවනු ලැබීමේ පුවතක් රුවන්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් විදුහලකින් වාර්තා වේ.

අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි මෙම පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සැලසුමක් සකස් කරන ලදුව මව්පියන් කැඳවා දැනුම්වත් කර තිබේ. ඒ අනුව කණ්ඩායම් වශයෙන් බෙදුණු මව්පියන් ඒ ඒ දිනවල ගේට්ටුව සමීපයේ සිට පාසල නිමවනතුරු ආරක්ෂක රාජකාරියේ නියැළී තිබේ.
එසේ පාසලට ආරක්ෂාව සපයමින් සිටිය දී කිසියම් තොරතුරු කීපයක් රැගෙන යාම සඳහා අවේලාවේ කාන්තා පොලිස් නිලධාරිනියක් ද විදුහල්පතිවරයා හමුවීමට පැමිණ ඇත.
එහිදී ගේට්ටුව සමීපයට පැමිණි ඇය ක්ෂණිකව නැවතූ මව්පියන් ඇගේ රාජකාරී හැඳුනුම්පත හා ජාතික හැඳුනුම්පත ඉල්ලා තිබේ. එහෙත් අමතකවීමකින් ඒවා රැගෙන ඒමට නොහැකි වූ ඇය ඒ බැව් මව්පියන් වෙත පවසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ රටේ පවතින තත්ත්වය හා තමන්ට ලැබී ඇති උපදෙස් අනුව හැඳුනුම්පතක් නොමැතිව විදුහල්පතිවරයා හමුවීමට ඉඩදිය නොහැකි බවය.
එයින් නිරුත්තර වූ පොලිස් නිලධාරිනිය ඔවුන් හා තර්ක විතර්ක කිරීමට නොගොස් ආපසු ගිය බැව් මව්පියන් පිරිස අතරම සිටි අයෙක් පැවසීය.

