පාසලේ අලුත් තණකොළ මැෂිම ප්‍රින්සිපල්ගේ ගෙදරට රිංගලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

විදුහල් ක්‍රීඩාංගණයේ තණකොළ කැපීමට පරිත්‍යාගයක් ලෙස ලැබූ අලු‍ත්ම තණකොළ කැපීමේ යන්ත්‍රය දින කිහිපයකින්ම වැඩකට නැති පරණ යන්ත්‍රයක් වීමේ අපූරු පුවතක් දකුණු පළාතේ සංචාරක පාරාදීසයකට ප්‍රසිද්ධ නගරයක පාසලකින් අසන්නට ලැබේ.

හොඳ ක්‍රීඩා පිටියකට උරුමකම් කියන පාසලකි. එහෙයින් තණ කොළ කැපීමට අලු‍ත් යන්ත්‍රයක අවශ්‍යතාව තිබුණේ කාලයක පටන්මය. විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන්  දානපතීන් සහ පරිත්‍යාගශීලීන්ද දැනුම්වත් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙසට විදුහලට තණකොළ කපන යන්ත්‍රයක් ලැබුණේය. එය නවීන පන්නයේ අලු‍ත්ම එකක් විය. විදුහල්පතිවරයා මේ නව යන්ත්‍රය කිහිපවරක්ම අතපත ගෑවේ බොහෝම ආශාවෙනි.

ගතවූයේ දින කිහිපයකි. විදුහල් ක්‍රීඩා පිටියේ තණ කොළ කැපීමට අවැසි විය. තණකොළ කපන සේවකයාට විදුහල්පති අණ ලැබුණේය. ඒ පිටියේ තණ කොළ කැපීමටය. තණකොළ කැපීමට පටන් ගත් ගමන්ම ඔහුට ලොකු වෙනසක් දැනිණි. එදා උත්සවයකින් අනතුරුව විදුහලට ලැබුණු අලු‍ත්ම තණකොළ කපන යන්ත්‍රය මෙය නොවන බවට ඔහුට ඒත්තු ගියේ නිමේෂයකිනි. මේ කතාව කනින් කොනින් විදුහලේම ප්‍රචාරය විය.

මෙම යන්ත්‍රය විදුහල්පතිගේ නිවසේ තණකොළ කපන යන්ත්‍රය බව ඒ ගැන දන්නා අයට රහසක් නොවීය. ඒ සමගම අලු‍ත් යන්ත්‍රය පරණ යන්ත්‍රයකට මාරුවූ පුවත පාසලේ පමණක් නොව ගමේ නගරයේද ප්‍රචාරය වූයේ අනේ මෙහෙමත් විදුහල්පතිවරු යැයි කියමිනි.