පාපැදි සොරකම සෙවූ සීසීටීවී කැමරාවේ අපූරු රංගනයක්


(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
සිදු වූ සොරකමක් සොයා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂාවට ගිය පිරිසකට අනියම් රංගනයක යෙදුණු විවාහක යුවළකගේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවීම හමුවේ එම යුවළ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටීමේ පුවතක් පොල්පිතිගම පොලිසිය අවට ගම්මානයකින් වාර්තා වේ.


අනාවරණය වූ අයුරු සිද්ධිය මෙසේය.


පොල්පිතිගම ප්‍රදේශයේ ගැමි පෙදෙසක වැව් පිටියක පැවැත්වුණ සල්පිල් වෙන්දේසි සමග නාට්‍ය සංදර්ශනයකි. කලාතුරකින් පැවැති එම සල්පිල හා නාට්‍ය දැක බලා ගැනීමට අවට විශාල පිරිසක් එක්රැස්ව සිටියහ.


නාට්‍ය රඟදැක්වෙන අතරවාරයේ නවතා තිබූ පාපැදියක් සොරා ගැනීමේ පුවතක් අසන්නට ලැබුණි.


එහිදී සල්පිල හා නාට්‍ය පැවැත්වුණු අවට නිවසක සී.සී.ටී.වී. කැමරා සවිකර තිබෙන අයුරු දැන ගත් පිරිසක් එය පරීක්ෂා කිරීම සඳහා පසුදින පෙරවරුවේ එම නිවසට ගොස් ඇත්තේ පෙර දින රාත්‍රියේ සොරාගත් පාපැදියේ තොරතුරක් ඒ ඔස්සේ හෝ හෙළිකර ගැනීමේ අටියෙනි.


නිවැසියා සමග එහි ගිය පිරිස එම දසුන් පරීක්ෂා කරන අතරවාරයේදී පාපැදිය රැගෙන ගිය හිතවතකු එය ගෙනැවිත් පා පැදි හිමිකරුට බාරදුන් පුවත දැන ගන්නට ලැබී ඇත.


පා පැදියේ තොරතුර හෙළිවී ඇතත් එම දසුන් නැරඹීම නිමා නොකළ පිරිස එය තවදුරටත් පරීක්ෂා කිරීමේදී කැමරාව ඉදිරිපිට මාවතේ පෙර දින රාත්‍රියේ අනියම් ඇසුරක් පවත්වන යුවළකගේ රංගනයක් දැක පිරිස මවිතයට පත්ව තිබේ.


එම යුවළ කවුරුන්ද යන්න දැන ගැනීමට පැමිණි පිරිස් තව තවත් විපරම් කිරීමේදී එම කත තම ප්‍රදේශයේම පදිංචි විවාහක එක්දරු මවක බවත්, අනිත් තැනැත්තාද අවට ගම්මානයක විවාහකයකු බවත් හඳුනා ගැනීමට ඔවුනට වැඩිවේලාවක් ගත්වී නොමැත.


කෙසේ වෙතත් සල්පිල් වෙන්දේසිය අතරේ නිදහස් පෙදෙසක කියා රහසිගතව ප්‍රේම රංගනයක නියැළුණු එම යුවළද එහි සී.සී.ටී.වී කැමරා සවිකර තිබෙන වග දැන ගැනීමෙන් අනතුරුව කලබලයට පත්ව වහ වහා එකී නිවසට ගොස් එම දසුන් කපා දමනා ලෙසට එම නිවැසියන් හමුවේ බැගෑපත් වී ඇතත් එය මේ වනවිට අවට ගම්මානවල කා අතරේත් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව අවසන් යැයි ප්‍රදේශවාසීහු පැවසූහ.