ප්‍රින්සිපල් මැඩම් හමුවෙන්න ඩ්‍රැයිවර්ගෙන් අවසර ගන්න වෙලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


තමන් උගන්වන පාසලේ විදුහල්පතිනිය හමුවීමට වෙලාවක් සහ දිනයක් ගැනීමට එම විදුහලේ රියැදුරුගේ දෙපාමුල වැඳ වැටීමට ගුරුවරුන්ට සිදුව ඇති පුවතක් දකුණු පළාතේ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.

මීට පෙර සිටි විදුහල්පතීන් හමුවීමට එම විදුහලේ ගුරුවරුන්ට වෙලාවක් කලාවක් තිබුණේම නැත. එමෙන්ම වෙලාවක් දිනයක් වෙන්කර ගැනීමටද කිසිදු ගුරුවරයකුට සිදු නොවීය. ඒ ගුරුවරුන් තමන් හමුවීමට එනුයේ කාලය කා දමා සතුටු සාමීචියේ යෙදීමට නොව පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ අවශ්‍යතාවට බව එදා සිටි විදුහල්පතිවරුන් හොඳාකාරවම දැන සිටි නිසාවෙනි.

අලු‍තින් ආ විදුහල්පතිනිය පිටින් පැමිණෙන කෙනෙකු තියා විදුහලේ උගන්වන ගුරුවරයකුට ද හමුවීම බොරුය. ඒ සඳහා දිනයක් වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර් යයෙන්ම සිදු කළ යුතුමය. ඒ සඳහා තබා ඇත්තේ රජයෙන් මේ විදුහලට පත් කර ඇති රියැදුරු මහතාය.

පාසල් සිසු දරු දැරියකගේ මොනම අවශ්‍යතාවක දී වුවද මේ විදුහල්පතිනිය හමුවීමට නම් අර රියැදුරු මහතා ළඟ දණින් වැටිය යුතුමය. නොඑසේනම් ඇය හමුවීම බොරුය. වෙලාවක් දිනයක් වෙන් කර ඇය හමුවීමට යන විට දී පාසලේ සිද්ධ විය යුතුදේ හමාරය. මේ නිසාම මේ විදුහලේ ගුරු මෑණිවරුන් පියවරුන් ඉන්නේ දැඩි කලකිරීමෙන්ලු‍. ඇතැම් අය මේ නිසා මේ පාසල හැර යාමට පටන් ගෙන ඇති බව ද කියති.