පස් කපන්නෙක් සොයන්න ගිහින් එළිවෙනතුරු පොලිස් කූඩුවේ


නිවසේ අත්තිවාරමට පස් දැමීමට අවශ්‍ය වූ තරුණයෙක් තමා හඳුනන පස් කපන පුද්ගලයකු සොයා ඔහුගේ නිවෙසට ගියේය. නිවැසියන් පැවසුවේ ඔහු ගම්මැද්දට ගිය බවය. ඉදිරියට ගිය තරුණයාට, මිනිසුන් රාශියක් වටවී සිටින තැනක ඔහුද සිටිනු දැක ගත හැකි විය. තරුණයා දුටු පස් කපන්නා “පොඞ්ඩක් ඉන්නැයි” පැවසීය.

එතැන මුදල් ඔට්ටුවට කුකුළන් කොටවන ස්ථානයකි. පස් කපන්නා පැමිණෙන තුරු තරුණයා අයිනට වී බලා සිටියේය. එකනෙහිම තරුණයන් කිහිප දෙනකු යතුරපැදිවලින් පැමිණි අතර කුකුළන් කෙට වූ පිරිස හතර අතේ දුවන්නට වූහ. එතැන ඉතිරි වූයේ අප තරුණයාත් වයෝවෘද්ධ අයෙකුත් පමණි. පැමිණියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ය. තරුණයා තදින් අල්වාගත් අයකුගෙන් “ඔයාලා කවුදැයි” හෙතෙම විමසීය.

“අපි පොලිසියෙන්. කුකුළන් කොටවන්න තහනම් කියලා දන්නැද්ද? නිලධාරියා ප්‍රශ්න කළේය. “සර් මම පස් කපන මිනිහෙක් එක්කරගෙන යන්න ආවේ. බලද්දි එයා මෙතැන. මම එයා එනකන් හිටියා.” තරුණයාගේ පිළිතුර විය. එවිට පොලිස් නිලධාරිහූ, “කුකුළන් කෙටෙව්වත් වැරදියි. බලන් හිටියත් වැරදියි” පවසා පොලිසියට රැගෙන ගොස් ඔහු පොලිස් කූඩුවේ දැමූහ. නීතිමය කටයුතු සඳහා පසුදින ඉදිරිපත් කරන තුරු දෙදෙනාටම පොලිස් කූඩුවට වී නිදි මරමින් මදුරුවෝ තලමින් සිටීමට සිදුවිය.