පරිස්සමට තිබ්බදේ ඈලියාවට ගිය කථාවක් සිහිපත් වන සිද්ධියක් ඉකුත්දා අපට අසන්නට ලැබුණි. එම සිද්ධිය මෙසේය.
මාදම්පේ ප්‍රදේශයේ කාන්තාවක සිය ඥාති දියණියක සමග ගාල්ල නගරයට ගියේ තම ඇසේ අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමටය.
ගාල්ලට ගොස් ආපසු නිවස බලා ඒමට ඇය ඥාති දියණිය සමග ගාල්ල බස් පොළට පැමිණ සිටියදී නුවර බලා යන බස් රථයක් පැමිණි හෙයින් ඇයත් ඥාති දියණියත් එයට ගොඩවූහ. බස් රථය අතුරු සිදුරු නැතිව මගීන්ගෙන් පිරී ඉතිරී තිබුණි. එනිසා මේ දෙදෙනාට ගමන් කිරීමට සිදුවූයේ හිටගෙනය.
කරේ එල්ලාගෙන තිබූ කාන්තා බෑගය ඔවුන්ට අවහිරයකි.
වටපිට බලන විට ඔවුන් හිටගෙන සිටි අසුන ළඟ වාඩිවී සිටි තරුණියක දැක සිය බෑගය තබා ගන්නා ලෙස කියමින් එය ඇයට දුන්නාය. මඳ සිනහවක් පෑ මේ තරුණිය බෑගය සිය උකුල මත තබා ගත්තාය. බසය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි. කහව හන්දියට ළඟා වන විට බෑගය ළඟ තබාගෙන සිටි තරුණිය බසයෙන් බැස ගැනීමට අසුනින් නැගිට බෑගය අයිතිකාරියට දුන්නාය. ඇය කහව හන්දියෙන් බසයෙන් බැස ගියාය.
බෑගය අයිතිකාරිය සහ ඇගේ ඥාති දියණිය ඊට මද දුරක් ගිය තැන වේනමුල්ල හන්දියේ දී බසයෙන් බැස ගත්හ. නිවසට ගොස් බෑගය විවෘත කර බලන විට ඒ තුළ තිබූ රුපියල් හැට පන්දහසක මුදල අතුරුදන්වී තිබුණි. රාත්‍රී කාලයේ නිසා ආපසු කහව හන්දියට යෑමෙන් පලක් නැති බව තේරුම් ගත් ඇය ඊට පසුවදාම කහව හන්දියට ගොස් එහි සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට තමාට සිදුවූ දෑ පැවසුවාය. ඔය කියන වෙලාවට කහව හන්දියෙන් බැස යන්නේ ගාමන්ට් එකක වැඩ කරණ තරුණියක බව අනාවරණය විය. කතාව එතැනින් අවසන් වූයේ පොලීසි ගොස් තවත් රස්තියාදුවීමෙන් පලක් නැති බව සිතමිනි.
හික්කඩුව ඤාණදාස රන්මුතු