පන්සලේ ආධාරෙට රු.50ක් දීලා පුතා තාත්තගේ සායමත් ඇරලා


බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා
විහාරස්ථානයක අලු‍තෙන් ඉදිකෙරෙන චෛත්‍යයකට ආධාර එකතු කිරීමට පැමිණි වෑන් රථයකට සිංහල භාෂාව උගන්වන ඉතා ජනප්‍රිය ගුරුවරයකුගේ කුඩා පුතකු දුන් රුපියල් පනහක මුදලක් ගැන ශබ්ද වාහිනී යන්ත්‍රයකින් කවි කියා මහා ඉහළින් වර්ණනා කරද්දී ලජ්ජාවට පත් ගුරුවරයා තවත් මුදලක් පරිත්‍යාග කිරීමේ පුවතක් දකුණු පළාතෙන් දැන ගන්නට තිබේ.
සිංහල භාෂාව උගන්වන මෙම තරුණ උපකාරක පන්ති ගුරුවරයා දකුණු පළාතේ ඉතා ජනප්‍රිය කෙනෙකි. එමෙන් ආගම දහමට පිනට ලැදි මොහු පන්තියේ ළමයින්ට ද ගුණ ධර්ම කියා දෙයි.
යම් දෙයකට ආධාර එකතු කිරීමට පැමිණෙන්නන් හිස් අතින් නොයවා තිබෙන සුළු මුදලකින් හෝ ආධාර දීම මොහුගේ සිරිතකි. පසුගිය දිනෙක විහාරස්ථානයක අලු‍තෙන් ඉදිකෙරෙන චෛත්‍යයක් සඳහා ආධාර එකතු කිරීමට ශබ්දවාහිනී යන්ත්‍රයක් ගැට ගසා ගත් වෑන් රථයක් පැමිණ මෙම ගුරුවරයාගේ නිවෙස ඉදිරිපිට නවතා ආධාර ලබා දෙන්නන්ට ආශීර්වාද කවි කියමින් සිටියේය. 


මේ මොහොත වන විට ගුරුවරයා වෙනත් කාර්යයක නිරත වී සිටි හෙයින් ආධාරයක් දීමට අමතක විය. හැම කෙනකුටම ආධාර දෙන පියා මේ මොහොතේ ආධාරයක් දීමට ඉදිරිපත් නොවීම ගැන පොඩි පුතා කුතුහලයෙන් බලා සිටියේය. පියා ලොකු වැඩක නිරත වී සිටින බව දැක ගත් පොඩි පුතා ඔහු ළඟ තිබූ රුපියල් පනහක මුදලක් ආධාර එකතු කරන වෑන් රථයට දුන්නේය. මුදල දුන් අයගේ නම විමසන විට ජනප්‍රිය ගුරුවරයකු වන  සිය පියාගේ නම ලියා ගන්නැයි කියා සිටියේය.
ඒ අනුව වෑන් රථයේ මුදල් දුන් අයට ආශීර්වාද කරමින් කවි කියන කවියා ද මෙම ගුරුවරයා ගැන හොඳින් දන්නා හඳුනන අයකු බැවින් පරිත්‍යාග කළ රුපියල් පනහ මුදල ගැන මහා ඉහළින් වර්ණනා කරමින් කවි කිහිපයක් කියන්නට විය.
තමාගේ නමට කවි කියමින් දුන් රුපියල් පනහක් ගැන වර්ණනා කරන විට ගුරුවරයා විමතියෙන් බලා සිටියේය. ආධාර මුදලක් දුන්නා දැයි බිරිඳගෙන් විමසූ විට ඇය නොදුන් බව කියා සිටියාය. පොඩි පුතාගෙන් මේ ගැන විමසන විට තාත්තා වැඩක් කරමින් සිටි නිසා තමා ළඟ තිබූ රුපියල් පනහක් දුන් බව පුතා කීය. 
ලජ්ජාවට පත් ගුරුවරයා පුතාගේ ක්‍රියාව ගැන දොස් නොපවරා මේ මුදලත් ගිහින් දෙන්නැයි තවත් රුපියල් පන්සියයක මුදලක් ද පරිත්‍යාග කර ලජ්ජාව වසා ගැනීමට ක්‍රියා කළේය.