එක්ව කා බී දෙමිතුරන්ගෙන් එක් අයෙකුට පදම වැරදීමෙන් අනෙක් මිතුරාගේ බිරිඳගේ ඇඳට වැටුන මිතුරා මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව කොබෙයිගනේට ආසන්න පෙදෙසකින් වාර්තාවේ.
මොවුන් දෙදෙනා එකම කාර්යාලයක සේවය කරන ගජ මිතුරෝය. මෙදින ඔවුන්ගේ මාසික පඩි දිනයයි. “මචං සෙට් වෙමුද එකෙකු අනෙකාගෙන් විමසීය. ඕ කේ” දෙදෙනා එක් අයෙකුගේ නිවසට ආවේ අරක්කු බෝතල් දෙකක් සහ අවශ්‍ය කළමනාද රැගෙනය.

දෙදෙනා මිතුරාගේ නිවසේ සාලය මැද කටයුත්ත ආරම්භ කළහ. අලුත විවාහ වූ මිතුරාගේ බිරිඳ දැඩි උනන්දුවෙන් සැමියාගේ මිතුරාට අවැසි දේ සපයා දුන්නේ ආගන්තුක සත්කාරයට මුල් තැන දෙමිනි.
රසවත් ලෙස කෑම මේසයද පිළියෙළ කළ බිරිඳ සැමියාට සහ සැමියාගේ මිතුරාට කෑමට ආරාධනා කළද ඔවුන්ගේ නොපැමිණීම හේතුවෙන් උරණ වූ බිරිඳ මහත් කනස්සල්ලෙන් ගොස් ඇඳට වැටුණාය.
මත්පැන් බෝතල් දෙකද බොමින් බිරිඳ සකසා දුන් කට ගැස්මද අනුභව කරමින් සතුටු වෙමින් දෙමිතුරන් පැය ගණනක් ගත කළේ රතු කට්ටද පනින තත්ත්වයට එන තුරුය.
නිවැසි මිතුරාද සාලයේම පුටුවකට ඇදවැටිනි. පදම වැරදී සිටි අනෙක් මිතුරාද යන්නට නැගිට්ටේය. යාමට අපහසු තත්ත්වයේ සිටි මිතුරා අසල වූ කාමරයක ඇඳකට වැටුණේය. එහි මිතුරාගේ බිරිඳ නිදා සිටි බවට ඔහුට නිනව්වක් නොවීය. ටික වේලාවකින් ඔහුට නින්ද ගොස් ගොරවන්නටද විය.
එයින් බියට පත් බිරිඳ මහ රෑ මර ලතෝනි දීගෙන කෑ ගසන්නට වූවාය. බිරිඳ ගේ කෑ ගැසීමෙන් වෙරි මරගාතේ කාමරයට පැමිණි සැමියාට මිතුරා දැකීමෙන් යකා නැග්ගේය. මිතුරා ගොරවමින් මර නින්දේය.
අසල වූ ගිරය රැගෙන ආ නිවැසි මිතුරා වෙරි වී නින්දේ සිටි මිතුරාගේ පිටට ඇනගෙන ඇනගෙන ගියේද වෙරිමරගාතේමය. බිරිඳ මැදිහත්ව සැමියා නවතා මිතුරා රෝහල් ගත කළේලු.
පසු දින මිතුරා බැලීමට රෝහලට ගිය නිවැසි මිතුරා සිදුවූ දෙය ගැනද කනගාටුව පළ කළේලු.
මොනවා කරන්නද මචං වන් ෂොට් ටූ ඩැමේජ් කීවේ මහත් අමාරුවෙන්ලු.
(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)

