නෝනාගෙ කනෙන් රිංගලා ටීවි එක හොර පාරක යවලා


  • පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි

පරණ එකට අලු‍ත් එකක් භාණ්ඩ හුවමාරු ක්‍රමය උපයෝගී කරගත් පුද්ගලයකු   තම නිවසේ තිබූ පැරණි මාදිලියේ රූපවාහිනී යන්ත්‍රය සිය අනියම් බිරිඳගේ නිවෙසට ⁣පරිත්‍යාග කිරීමක් පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

අක්කර තුන හතරක පමණ තේ ඉඩමකට හිමිකම් කියන හෙතෙම තම විවාහක බිරිඳට කොකා පෙන්වා, ඉඩමේ තේ දලු‍ කැඩීමට එන කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යන්නේ කලක සිටය.

විවාහක බිරිඳට  සහ දරුවන්ට සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කරන මේ පුද්ගලයා තම අනියම් බිරිඳගේද අවශ්‍යතා සපුරා දීමට ඊට නොදෙවෙනි උත්සාහයක යෙදෙයි.

මේ අතර අනියම් බිරිඳගේ නිවසෙහි තිබූ පැරණි රූපවාහිනි යන්ත්‍රය පසුගිය දිනෙක සිට අක්‍රීයවී ඇති බව පසුගිය දිනෙක ඔහු එහි ගොස්  සිටියදී පෙනුණි. රූපවාහිනි යන්ත්‍රය නරක්වීම ඔහුටද බලවත් පාඩුවකි. ඒ ඔහුගේ නිවෙසට වඩා ඔහුද රූපවාහිනි නරඹන්නේ අනියම් බිරිඳගේ නිවසේදී බැවිනි.  

මේ අවස්ථාවේ විශාල මුදලක් වැය කර අලු‍තෙන් රූපවාහිනි යන්ත්‍රයක්   මිලදී  ගෙනදීම කිසිසේත්ම කළ  නොහැකිය. ඊට හේතුව  තේ වත්තේ ආදායම්  වියදම් පිළිබඳව  බිරිඳ දැන් වෙනදාට වඩා ඇස ගසාගෙන සිටින බැවිනි.

මේ ප්‍රශ්නය පිළිබඳව කල්පනා කරමින්  සිටි ඔහුට නිවසේ  ඇති පැරණි මාදිලියේ රූපවාහිනි යන්ත්‍රය රැගෙන ඊට කිසියම් මුදලක් අඩුකර නවීන පන්නයේ රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමට හැකියාවක් ඇති බවට තොරතුරක් පසුගිය කාලයේ ඇසුණු බවක්  සිහිපත් විය.

ඒ අනුව පසුගිය දිනෙක ඔහු සිය බිරිඳ අමතා  “මේ ටී.වී. එක අපේ ගෙදරට එච්චර ගැළපෙන්නේ නැහැ, අපි මේක කඩේට දීල අර බිත්තියෙ එල්ලන අලු‍ත් වර්ගයේ එකක් ගෙනෙමු”‍ යැයි කීවේ සැලසුමක් හිත යට තබාගෙනය.

බිරිඳගෙන් ඊට විරෝධයක් එල්ල නොවීම ඔහුගේ බලවත් සතුටට හේතු විය.

පසුදින උදෑසනම  රූපවාහිනිය ත්‍රිරෝද රථයේ පටවාගත් හෙතෙම ‘‘නෝනේ මම පරණ එක දීල අලු‍ත් එකක් ගේන්න යනවා...”‍ කියාගෙන  කෙළින්ම ගියේ අනියම් බිරිඳගේ නිවසටයි.

එහි  ⁣රූපවාහිනි යන්ත්‍රය තැබූ හේ  නගරයට ගොස් නවීන පන්නයේ රූපවාහිනි යන්ත්‍රයක් මිලදීගෙන උජාරුවෙන්  නිවෙසට පැමිණියේය.

වැඩි දවස් ගත නොවිණි. දලු‍ කැඩීමට එන වෙනත් කාන්තාවක දුන් තොරතුරකින් සැමියා මෙවරද තමන්ගේ කනෙන් රිංගා ඇති බව බිරිඳට සක්සුදක් සේ පැහැදිලි විය.

වෙනදා මෙන් එදිනද එම නිවසෙන් ත්‍රාසජනක ටෙලි නාට්‍යයක දෙබස් හුවමාරු වන හඬක් අසල්වැසියන්ට  ඇසුණා ලු‍.