දිවුලපිටිය පැත්තේ මැදිවියේ විනෝදකාමියකු පෞද්ගලික කරුණකට ප්‍රධාන නගරයකට ගියේය.
ඔහු ප්‍රධාන නගරයට ගොස් අවශ්‍ය කර්තව්‍ය ද ඉටුකරගෙන ආපසු එනවිට කාන්තාවන් ඇඳුම් මසන ස්ථානයක් නෙත ගැටුණි.
තමාට ද එහි ගොස් කමිසයක් මස්සවා ගැනීමට ඔහුට ආසාවක් ඇතිවිය. ඔහු එම ස්ථානයට ගොඩවැදුණේය. කමිසයක් මසාගැනීමට හැකිදැයි ඔහු විමසීය.
කාන්තා ඇඳුම් පමණක් නොව පිරිමි ඇඳුම් ද මසන බවත් අවශ්‍ය ඕනෑම මෝස්තරයකට මසාදිය හැකි බවත් එහි පාලිකාව කීවාය.
මැදිවියේ විනෝදකාමියා කමිසයට සුදුසු රෙද්දක් තෝරාදුන් අතර කාන්තාව අවශ්‍ය මිනුම් ගැනීමට සූදානම් වූවාය.
කාන්තාව කමිසයේ කොලරයට මිනුම ගනිද්දී ඔහුට විදුලි සැර වැදුණා මෙන් කිති කැවී ගියේය. ඔහුට දහඩිය වැගිරෙන්නට විය.
‘මහත්මයා මොකද ඔයාගෙ ඇඟ වෙව්ළන්නේ. ඔහොම නම් මෙසමන්ට් ගන්න බෑ’ පාලිකාව කීවාය.
ඔය ඇති නෝන. මෙසමන්ට් ගත්තා ඇති. කමිසෙ මහල තියෙන්නෙ ගණන කීයද ඔහු ඇසීය. ‘තුන්දහස් පන්සීයයි’ ඇය කීවාය. ඔහු මුදල ගෙවා යන්නට ගියේය. දෙසතියකින් පැමිණ කමිසය ඉල්ලා සිටියේය. කාන්තාව මසා තිබූ කමිසය ඔහුට දුන්නේය. ඔහුට එය හැඳගත නොහැකිවිය. කමිසෙ හිරයිනේ.
නෝන ඉතින් මම මොකද කරන්නේ. ඔයා මෙසමන්ට් ගන්නකල් හිටියායැ. වෙව්ළන්න ගත්තනෙ. කමිසෙ තියල යන්න. හදලා තියන්නම්. ඇය කීවාය. ඔහු කමිසයක් එහි තබාගියා ගියා මිස ආපසු යළි පැමිණියේ නැතිලු.

