නෝට්ටු දෙකක් පැටලී හිඟන්නාට ලොතරැයියක් වැටිලා


පළාත් පාලනයට සම්බන්ධ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ඔහු හැමදාම උදේට නිවෙස අසල පිහිටි වෙළඳසලට උදෑසනම යන්නේ පුවත්පත් කියවීමටය.


පසුගියදා එහි පැමිණි මොහොතේ කඬේ මුදලාලි කීවේ අපූරු කතාවකි.


උදෙන්ම තේ බොන්න ආපු හිඟන මනුස්සයෙක් රුපියල් දාහක් මාරුකරගෙන තේ බිව්වා. මේ උදේ පාන්දරම දාහෙ කොළයක් කොයින්ද ඇහුවම මහත්තය උදේ පාන්දරම රුපියල් දාහෙ කොළයක් පිනට ලැබුණ කියල ඒ මහත්තයටත් පිං දුන්නා”


උදේ හිඟන්නෙක් නිවෙසට ආ බවත් තමා ඔහුට රුපියල් පනහේ කොළයක් දුන් බවත් සිහි වී තම මුදල් පසුම්බිය විවෘත කොට බැලූ ඔහුට දෙවියන් සිහිවිය.


තම පසුම්බියේ රුපියල් පනහේ කොළයක් සහ රුපියල් දහසේ කොලයක් තිබූ අතර පනහේ කොලය එලෙසම තිබිණ. හිඟන්නාට වැරදීමකින් දී ඇත්තේ දහසේ කොළයයි. තමා කලබල වූ බව දත් මුදලාලි “ඇයි මහත්තයා” කීවෙන් ඔහු “අසරණ මනුස්සයනෙ මුදලාලි. ඒකයි මම දාහක් දුන්නෙ” කීවේ බොරු සිනහවක් මවා ගෙනලු.

(තිහගොඩ උපසේන ලියනගම)