කඹුරුපිටිය විශේෂ කේ. අජිත්

දකුණු පළාතේ ප්‍රධාන ආයතනයක සේවය කළ ඇයට වැඩි වශයෙන් පැවරී තිබුණේ ක්ෂේත්‍ර රාජකාරී කටයුතුයි. මේ හේතුව නිසාම ගෙදර දොර කටයුතු, සාප්පු සවාරි, නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල යාම සහ පවුලේ අනෙකුත් කටයුතු තම රාජකාරි කාල සීමාව තුළ දී ඉටු කර ගැනීමට ද ඇයට හැකියාව ලැබුණි..
දිනක් තම සේවා ස්ථානයට පැමිණි ඇය ක්ෂේත්‍රයේ වැඩකට යන බව පවසා නිවසට ගියේ වැඩ කටයුතු බොහොමයක් කර ගැනීමේ අටියෙනි. ගෙදර වැඩ කරන අතරතුර නිවසේ පොල් අවසන් වී ඇති බව දැනගත් ඇය කඩිමුඩියේ දුරකතන අංක සටහන් කරන ලද පොත රැගෙන පොල් කඩන්නාට ඇමතුමක් දී අද පොල් කඩනවාදැයි ඇසීය. සිහින් හඬින් “තාම මම පොල් කඩන්න පටන් ගත්තේ නැහැ. දැන් හදිසි වැඩක් ” යනුවෙන් පවසන විටම “අනේ අද කොහොම හරි එන්න. අද බොස් නැති නිසා මම වේලාසනම ගෙදර ආව. අද කොහොම හරි පොල් ටික කඩල දෙන්න”. එවිට පිළිතුරු ලැබුණේ “මම මේ මීටින් එකක ඉන්නෙ” යනුවෙනි.
ලද පිළිතුරත් සමඟ ඇය දෙගිඩියාවට පත්වූයේ එම කට හඬ හුරු පුරුදු නිසාවෙනි. වහා දුව ගොස් දුරකතන අංක පරීක්ෂා කිරීමේ දී ඇයට පෙනී ගියේ තමා කතා කර ඇත්තේ තම ආයතන ප්‍රධානියාට බවයි. හීන් දාඩිය දැමූ ඇයට කරකියාගත හැකි දෙයක් නොවීය.
මේ දෙදෙනාටම ඇත්තේ එකම නම වුවත්, තනතුර ලියා නොතැබීමෙන් මෙම අතපසු වීම සිදු වූ බව තම යෙහෙළියට පැවසූ ඇය තවමත් තම ප්‍රධානියා මඟ හරිමින් සිටින බව දැනගැනීමට ඇත.