කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නොකළ අරගලයක් ගැන පම්පෝරි ගැසීමට ගොස් නිවෙසේ මෙතෙක් නොතිබූ හා නොනවතින අරගලයක් නිර්මාණය කරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් අසන්නට ලැබේ.
හේ නව වැනිදා අරගලයට ගියේ දැයි දන්නේ උඩ ඉන්න දෙවියන් පමණි. එහෙත් එහි තමන් ද කොටස්කාරයකු යයි ගම්මුන්ට අගවන්නට ඔහුට තිබුණේ ලොකු වුවමනාවකි. ලොකු කැමැත්තකි. ගමේ කඩ මණ්ඩියට එදා ඔහු ගියේ ද ඒ වෙනුවෙනි.
අරගලකරුවන් සමග නව වැනිදා ජනාධිපති මන්දිරයට හා නිල නිවෙසට කඩා පැන්න අයුරු ඔහු කීවේ ගමේ ඇත්තන්ගේ ඇස් උඩ යවමිනි. ජනාධිපති මන්දිරයට කඩා පනින විට ඇසුණු වෙඩි හඬින් තමන් බිය ගැන්වුණු හැටි. ඒවා එකක්වත් ගණන් නොගෙන ජනාධිපති මන්දිරයට කඩා පැන්න හැටි. එහිදී එදා තමා ඇතුළු පිරිස ලබාගත් ‘නව ෆන් එක’ ගැන ද ඔහු කීවේ අහිංසක ගම්මුන් මවිත කරවමිනි.
නව වැනිදා අරගලයේ පම්පෝරිය පැයක දෙකක කාලයක් ඇදබා නිවෙසට යෑමට තමා පැමිණි පාපැදිය නවතා තිබු තැන බැලුවේය. කයිවාරුව අතරවාරයේ කවුරුන් හෝ පාපැදිය සොරාගෙන ගොස් තිබිණි.
පා පැදියෙන් ගිය සැමියා පා ගමනින් එනු දුටු භාර්යාව පුදුම වූවාය. ‘කෝ කොල්ලාගේ බයිසිකලය’. එයට සිදු වූ දේ ඔහු කී විට භාර්යාව නිවෙසේ අරගලය පටන් ගත්තේ එතැන් සිටය. දැන් කොල්ලා පන්ති යන්නේ ඉස්කෝලෙ යන්නේ තමුසෙගේ ඔළුවෙන්ද?. මේ මිනිහා කළොත් කරන්නේ ඔය වගේ වැඩක් තමයි. කියමින් ඇය කවදාවත්ම නිවෙසේ නොතිබුණු අමුතුම අරගලයක් පටන් ගත්තාය. මෙය නොනවතින අරගලයක් ලෙස භාර්යාව ගෙනයාමට අඩිතාලම දැමුවේ පාපැදිය හොයාගෙන එනතෙක් ගෙදරට නොඑන ලෙස දන්වා නිවෙසින් පිටකිරීමත් සමගලු.