බුලත්සිංහල ලක්මි කුඩලිගම
බීමත්කම නිසා අසනීපවී දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවූ රෝගියකුට පරීක්ෂණ කීපයක් කරගෙන එන්නැයි රෝහලෙන් දුන් තුණ්ඩුවේ “නෝ” යැයි තිබූ වචනයක් වරදවා වටහා ගැනීමෙන් දැන් ලෙඩ හොඳයි කියා නැවතත් තැබෑරුමට ගොස් හොඳටම බී පසුවදාම නැවතත් රෝහල් ගත කළ පුවතක් බස්නාහිර පළාතෙන් වර්තාවේ.
වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ ඔහු බීමත්කමට ලොල් වී සිටියේය. අවිවාහක මැදිවියේ පුද්ගලයකු වූ ඔහු නිතර බීමත්කම නිසාම දැඩි ලෙස අසනීපවී රෝහල් ගතකළේය. බීම නිසා ශරීරයේ අවයවවලට දැඩි හානි සිදුව ඇති බවත් ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බව පවසා දින තුනක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කර වහාම පරීක්ෂණ කීපයක් කරගෙන එන ලෙස දන්වා රෝහලෙන් නිදහස් කළේය.
රෝහලෙන් පිටතට පැමිණි ඔහු තමාට රෝහලෙන් දුන් තුණ්ඩුව ගෙන පරීක්ෂා කර බැලුවේය. තුණ්ඩුවේ සඳහන් දේ හරි හැටි කියවා තේරුම් ගැනීමට නොහැකිවුවත් එහි ඇති “නෝ” කියන ඉංග්‍රිසි වචනය දැක සතුටින් ඉපිල ගියේය.
ඒ කියන්නේ දැන් මගේ ලෙඩ හොඳයි. මොකුත් නෑ කියන එකනෙ මේ “නෝ” කියල තියෙන්නෙ, එසේ සිතූ ඔහු එවලේම බාර් එකට ගොස් පදමට පානය කර නිවෙසට ගොස් ඇත්තේ ඉතා අමාරුවෙනි.
රෝහල් ගත කළ පුද්ගලයා හොඳටම බීමත්ම යළි නිවෙසට පැමිණීම පිළිබඳව නිවැසියෝ රෝගියාගෙන් විමසූහ. එවිට ඔහු කියා ඇත්තේ තුණ්ඩුවේ “නෝ” කියල තිබෙනවා ඒක නිසා මම බිව්වා යනුවෙනි.
“මිනිහෝ මේකෙ තියෙන්නෙ ආයි බොන්න කියලා නොවේ. තමුසෙගේ තත්ත්වය ඒ තරම් හොඳනෑ කියලා.. මේ පරීක්ෂණ කීපය කරගෙන නැවත රෝහලට එන්න කියලායැයි පවසද්දී ඔහුට දවල් තරු පෙනුණි.
ඔහුගේ සහෝදරියක වහාම පරීක්ෂණ ටික කර මේ පුද්ගලයා ඇදගෙන ගොස් නැවත රෝහල් ගත කළේ දිගට හරහට බැණ වදිමිනි.