(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිරෝධායනය වන දරු පවුලක් වෙත අමනාපව සිටි අසල්වැසියකු ලබාදුන් වියලි ආහාර පාර්සලය එම පවුලේ සාමාජිකයකු ආපසු ගෙනගොස් දැමීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මැදිහත්වී යළි බාර ගැනීමට උපදෙස් දුන් බව කියන පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය.
ඇඳිරි නීතිය දැමීමත් සමග ගමේ ජනතාවට අවශ්‍ය දේ සැපයීම සඳහා අලුතෙන් ආරම්භ කරන ලද කඩයකි. මෙය පවත්වාගෙන යනු ලැබුවේ කාන්තාවක විසිනි. පෑලියගොඩින් මාළු ගෙනා වෙළෙන්දකු කොරෝනා ආසාදිතයකු බව හෙළිවීමෙන් පසු ගමේ වැඩි දෙනා භීතියට පත්විය. මේ අතර කඩය පවත්වාගෙන ගිය කාන්තාවද වූවාය. ඒ මාළු වෙළෙන්දා නිතරම ඇගේ කඩයට ආගිය අයකු වීම නිසාය.
මේ හේතුවෙන් ගමේ නිවාස කිහිපයක පිරිස් නිරෝධායනයට ලක් කෙරිණි. ඒ අතර කඩය පවත්වාගෙන ගිය කාන්තාවගේ පවුලේ පිරිසද වූහ. නිවෙස් කිහිපයක් මෙසේ නිරෝධායනය කෙරුණු හෙයින් එම දරු පවුල් වෙත කිසියම් අන්දමකින් උපකාර කරන ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අසල්වැසියන්ගෙන් ඉල්ලීමක් කළේ මේ අතරය. ගමේ ඇති හැකි අයෙක් නිරෝධායනය කෙරුණු පවුල් සියල්ල වෙත වියළි ආහාර පාර්සලය බැගින් ලබාදුන්නේ ඒ ඉල්ලීමට කන්දීමෙනි.
පෙර කී කඩය පැවැත්වූ අයගේ නිවෙසටද ආහාර පාර්සලයක් ලැබිණි. දානපතියා හා ඔවුන් අතර කලකට පෙර කිසියම් අමනාපයක් තිබීම හේතුකොටගෙන මේ ආහාර පාර්සලය ලබාදුන් අයගේ නිවෙස වෙත යවනු ලැබූයේ කළ උදව්ව අවතක්සේරුවට ලක්කරමිනි.
මේ බව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැනගන්න ලැබිණි. අමනාපය අමතක කර වහාම ආහාර පාර්සලය බාරගන්නා ලෙසට කළ දැනුම්දීමට අනුගත වීමට කඩයේ කාන්තාවට සිදුවූයේ අහංකාරත්වය පසෙකලමිනි.