නින්දෙන් අවතාරයකට බියවී මළ ගෙදර හූ වැස්සක්


අවමංගල්‍ය උත්සවයක් පැවැත්වූ නිවසක කාන්තාවක් හීනයකට බිය වීම හේතුවෙන් එම නිවසේ සිදු වූ අලකලංචියක් පිළිබඳ පුවතක් මහනුවරට ආසන්න ප්‍රදේශයකින් වාර්තාවේ.

සිද්ධියට අනුව එදින හවස අවමංගල්‍ය කටයුතු අවසන් කිරීමෙන් පසු රෑ බෝ වූ පසු නිවසේ රැස්ව සිටි පිරිස දින කිහිපයක් නිදි වර්ජිතව ගත කිරීම හේතුවෙන් ඔවුන් වැටුණු තැන්වලම නින්දට වැටී ඇත.

මධ්‍යම රාත්‍රිය එළඹීමත් සමඟ නිදා සිටි එක් කාන්තාවක සිහිනයක් දැක එයට බියවීම හේතුවෙන් ශබ්ද නගා හූ කියා ඇත. ඒ සමඟම ආසන්නයේ සිටි තවත් කාන්තාවක්ද හූ හඬ ඇසීමෙන් බිය වී හූ හඬ නඟන්නට පටන් ගෙන ඇත.

ඒ හඬට අවදිවූ කාමරයක සිටි කාන්තාවක ද හූ හඬ තබන්නට වූවාලු‍.

ටික වේලාවක් ගත වන විට හූ  හඬට බිය වූ තවත් කාන්තාවෝ ගණනාවක් හූ හඬ නගන්නට පටන් ගත්හ.

ඒ සමඟම එතෙක් පැවති හූ හඬ එක්වරම නතර වී ඇති අතර හූ හඬ තැබූ කාන්තාවන් සිටි තැන්වලම ගල්ගැසී සිටියාලු‍. ඉන් පසුව හූ හඬ ඇසී ඒ අසලට පැමිණි වැඩිහිටියෙක් කරුණු සොයා බලා හූ හඬ ඒමට හේතුව සොයා බලන්නට විය. පසුව දැන ගන්නට ලැබී ඇත්තේ හූ හඬ තැබීමට හේතුව කාන්තාවක සිහිනයක් දැක බියවීම බව හඳුනාගත්තේය.

ඒ සමඟ වැඩිහිටි පුද්ගලයා  මළගෙදර මදිවට තව ටිකකින් හොඳ තොවිලයක් තියලා මළ යක්කු එළවන්න නැටුමක් නටන්න වෙන්නේ යැයි කීවේ, සුළු සිද්ධියක් නිසා බිය වී ගල්ගැසී සිටි කාන්තාවන් පිරිසට ඇසෙන්නටය.

කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ