නෑනාගේ අතුරුදන් රන්මාලයට උකස් කඩෙන් සිහි කැඳවීමක්


ඕපනායක කොට්ඨාසයේ එක්තරා ගමක අවිවාහක පුද්ගලයකු මත්වතුර බීමට ඇබ්බැහි වී සිටි අතර ඔහු කුලීමලී කරමින් උපයන මුදල් ඒ සඳහා වැය කළේය. උපයන මුදල බීමට ප්‍රමාණවත් නොවූ අවස්ථාවල ඥාතින්ගෙන් හිතමිතුරන්ගෙන් ණයතුරුස් ඉල්ලාගෙන සප්පායම්වීමටද පුරුදු වී සිටියේය.


ඉල්ලාගෙන බීමට පුරුදු වී සිටියත් හොරකම් කරන්නේ නැති තැනැත්තෙකු ලෙස ඔහු ඥාතීන් හා මිතුරන් අතර විශ්වාසයක් දිනා ගෙන සිටියේය. 


මෙසේ කාලය ගත වී යද්දී දිනක් ඔහුගේ මල්ලිගේ බිරිඳගේ රන් මාලයක් සොරාගෙන ඇති බවට කලබලයක් ඇතිවිය. එදින නිවසට ආගිය සියල්ලන් ගැන සෝදිසි කර නිතර නිවසට එන යන පාසල් සිසුවියක් කෙරෙහි සැක උපදවන්නට විය. එය සනාථ කර ගැනීම සඳහා මෙම පවුලේ උදවිය බොහෝ සාක්ෂිද සොයාගෙන තිබිණි. කීප පොළකින්ම සාස්තර අසන විටද එම දැරිය නැතිවූ භාණ්ඩය සොරාගෙන ඇති බවට ඉඟි ලැබී තිබිණි. මේ ආරවුලෙන් එදා පටන් දුකට සැපට සිටි අසල්වැසි පවුල් දෙකද අමනාප විය.


මෙසේ කාලය ගතවෙද්දී දිනක් තැපැල් මහත්තයා සීනුව නාද කළේය. රන් මාලය අහිමිවූ තැනැත්තිය දිවගොස් ලිපිය භාරගෙන විපරම් කර බැලීය. ලිපිය තම අවිවාහක මස්සිනාගේ නමට තිබූ අතර ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට යමක් උකස්කළ පලහිලව්වක් බවට පැහැදිලි විය. ලිපිය අනවසරයෙන්ම විවෘත කොට බැලූ විට මස්සිනා විසින් උකස් කරන ලද රන් මාලයේ උකස් කාලය නිමවී ඇති බැවින් බේරාගැනීමට එවන ලද පළමු සිහිකැඳවීම බව හෙළිදරව් විය.


දිනකට පසු මස්සිනා පැමිණ සිටි අතර මෙසේ කතාබහ ඇතිවිය. ‘අයියේ අර මාලය ගැන තවම තොරතුරක් නැහැනේ. ඒක නේන්නම් නංගි බඳින දවසෙ අපේ මල්ලි කරේ දාපු මාලය කොයිතරම් වටින එකක්ද ගත්ත එකකුට නම් හෙනම ගහන්න ඕන’.


‘ඔව් අයියා අයියට මෙන්න බැංකුවෙන් ලියුමක් ඇවිල්ලා ඒ මාලය බේරගන්න කාලය හරි දැන්. සිහිසුන් වූ මස්සිනාව රෝහලට ගෙන ගියෙත් නෑනා විසින්මය.
(ඕපනායක ඩබ්ලිව්.ජේ. මුණසිංහ)